යුද හමුදාවෙන් උතුරේ පවුලකට නිවසක්

සැප්තැම්බර් 22, 2022

පේදුරුතුඩුව තුන්නාලෙයි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්නම් ජයප්‍රාතා මහතාගේ පවුලට නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරිණි.

ඒ අනුව හින්දු ආගමික වතාවත් සහ චාරිත්‍ර මධ්‍යයේ යෝජිත නිවස ඉදිකිරීමට මුල්ගල තැබිණි.

මෝදර - මට්ටක්කුලිය සිංහ සමාජය හරහා විදේශයක වෙසෙන දානපතියෙකු විසින් අනුග්‍රහය දක්වන මෙම ව්‍යාපෘතිය සඳහා යුද හමුදාව ශ්‍රම දායකත්වය සපයන බව යුද හමුදාව පවසයි.

මෙම කෙටි උත්සවයේදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් අසරණ පවුලකට සහන වියළි සලාක මල්ලක් සහ එම පවුලේ අය ඇතුළු ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා අත්‍යාවශ්‍ය පාසල් ද්‍රව්‍ය තොගයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට මෝදර - මට්ටක්කුලිය සිංහ සමාජයේ සාමාජිකයින්, කරවෙඩ්ඩි සහකාර ප්‍රාදේශීය ලේකම්, 551, 552 සහ 553 බලසේනාවේ බලසේනාධිපතිවරුන්, ඒ යටතේ ස්ථාපිත සියලුම ඒකකවල අණදෙන නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන්, යුද හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් ද එක්ව සිටියහ.