යුද හමුදාවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

සැප්තැම්බර් 26, 2022

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය සහ සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතියට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා කාත්තන්කුඩි සිට මඩකලපුව දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් මෙම වැඩසටහනට එක් වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

මේ අතර බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව , 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ භට පිරිස් විසින් මීගමුව සිට පොරුතොට දක්වා කිලෝමීටර් 3 ක පමණ දුරක් ආවරණය කරමින් වෙරළ තීරය පිරිසිදු කරන ලද බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ද භට පිරිස් සමඟ එක්ව සිටියහ.