මහජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට බාධා වන අයුරින් හැසිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ දිය නොහැක - වැඩබලන ආරක්‍ෂක ඇමති

සැප්තැම්බර් 26, 2022

තම විරෝධතා සාමකාමීව ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතියට රජය ගරු කරන අතර මෙවැනි විරෝධතා නිසා සාමාන්‍ය ජනතාවගේ සාමකාමී එදිනෙදා ජන ජීවිතයට බාධාවක් හෝ දේපළ විනාශයක් සිදු නොවිය යුතුය.

සාමාන්‍ය ජනතාවගේ සාමකාමී ජන ජීවිතයට බාධා පමුණුවමින් සිදුකරන විරෝධතා මැඩපැවැත්වීමට රටේ ආරක්‍ෂක අංශ රටේ නීතියට අනුකූලව කටයුතු කරයි.

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (සැප් 26) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කිසියම් විරෝධතාවක් පැවැත්වීමට පැය හයකට පෙර අදාළ ආරක්‍ෂක අංශ දැනුවත් කිරීම සහ ඒ සඳහා නිසි අනුමැතිය ලබා ගැනීම වගකිව යුතු පාර්ශව විසින් සිදු කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ විරෝධතාකරුවන් වර්ථමානයේදී පවත්වනු ලබන විරෝධතාවන්හිදී එවැනි කිසිදු ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවයි.

කුමන තත්ත්වයක දී වුවද මහජනතාවට බාධා වන අයුරින් සාමය කඩ කරමින් වගකීම් විරහිතව කටයුතු කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ දිය නොහැකි බවද එවැනි අවස්ථාවලදී රජය ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රට අස්ථාවර කිරීමට ඇතැම් සුළු කණ්ඩායම් දරන උත්සාහයන්ට ඉඩ නොතබන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතික ආරක්‍ෂාව, දේශපාලන ස්ථාවරත්වය මෙන්ම නීතියේ ආධිපත්‍යය ද ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ඕනෑම රටක තිබිය යුතු ගුණාංග බවත් නීතියේ ආධිපත්‍යය බිඳ වැටුනහොත් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ නොහැකි බව අපගේ විශ්වාසය බවත් අමාත්‍ය තෙන්නකෝන් අවධාරණය කළේය.

රටේ සාමය කඩ කිරීමට කිසිවකු හට ඉඩක් දිය නොහැකි බවත් එබැවින් මේ තත්ත්වය බුද්ධිමත්ව අවබෝධ කරගෙන රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සාමූහිකව කටයුතු කරන ලෙසට රටේ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවැසීය.

මෙම මාධ්‍ය හමුවේදී ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය වැනි රාජ්‍ය ගොඩනැගිලිවල සේවයේ නියුතු නිලධාරීන්ට තම රාජකාරිය කළ නොහැකි තත්ත්වයන් තුළ මහජනයාහට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් රටේ ප‍්‍රධාන ආයතන දෙක වන ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය, මහජන ආරක්‍ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගන්නා බවත්ය.

සාමාන්‍ය ජනතාවට සිදුවන පීඩා වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආරක්‍ෂක අංශවලට උපදෙස් ලබා දී අතර, ඒ අනුව රටේ ස්ථාවරත්වය කරා යන ගමනේදී සාමය සහ ආරක්‍ෂාව පවත්වාගෙන යාමට පොලිසියට සියලු සහයෝගය ලබාදීමට ආරක්‍ෂක අංශ සූදානම් බවද ආරක්‍ෂක ලේකම්වරයා සහතික විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පැවති මෙම මාධ්‍ය සාකච්චාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළේය.