නාවික හමුදාවට කාන්තා කිමිදුම්කරුවන්

සැප්තැම්බර් 27, 2022

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා නාවික පුද්ගලයන් තිදෙනෙකු පසුගියදා මූලික කිමිදුම් පාඨමාලාව හදාරා සාර්ථකව නිම කරන ලදි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සංකල්පයක් අනුව කිමිදීමට හැකියාවක් හා කැමත්තක් ඇති කාන්තා නාවික පුද්ගලයන්ට අවස්ථාව උදාකරදීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.

කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තා නාවිකයෙකු සහිත කාන්තා අභ්‍යාසලාභීන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම විසින් ත්‍රිකුණාමලයේ නාවික තඨාකාංගනයේ පිහිටි නාවික හමුදා කිමිදුම් පාසලේ මෙම මස ආරම්භයේ (සැප්තැම්බර් 5) සිට දින 20 ක් පුරා පැවති මෙම පුහුණු පාඨමාලාව හදාරන ලදි.

පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 24) කිමිදුම් පාසලේ පැවති උත්සවයකදී නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු වෙතින් ඔවුන් සිය සහතික පත් ලබාගත්හ.   

ඉදිරියේදී ඔවුන් ලබාගන්නා කිමිදුම් ප්‍රවීණතාවය මත, කිමිදුම් මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍යතාවය පරිදි යෙදවීමට නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.