වැසි සහිත කාලගුණය තවදුරටත්

සැප්තැම්බර් 30, 2022

අද (සැප් 30) දහවල් 1200 ට නිකුත් කරන ලද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම පුරෝකථනයන්ට අනුව දිවයිනේ ප්‍රදේශ වල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සති අන්තයේ ද පැවතිය හැකිය.

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය විය හැකි බවට අනාවැකි පල කරන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ද ඇති විය හැකි බවද එහි සඳහන්.

වයඹ පළාතේද වැසි ඇති විය හැකි අතර ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී.50ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති විට එම ප්‍රදේශවල ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.