ජනපතිගේ ඉල්ලීම මත ඉදිරියේදී කොතලාවල විශ්වවිද්‍යාලයේ
ශාඛාවක් වයඹට - ආරක්‍ෂක ලේකම්

ඔක්තෝම්බර් 05, 2022
  • කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල දක්ශිණ මණ්ඩපයේ අංග සම්පූර්ණ පරිගණක පීඨය විවෘත කෙරේ.

වයඹ ජනතාව වෙනුවෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි තවත් ශාඛාවක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති විසින් ඉල්ලීමක් කර ඇති බව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව පිහිටි දක්ශිණ මණ්ඩපයේ නව පරිගණක පීඨය විවෘත කිරීමේ උත්සවයට අද (ඔක්තෝම්බර් 5) සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති උත්සව සභාව අමතමින් ආරක්‍ෂක ලේකම් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි සේවාවන් අගය කළ අතර, එහි ප්‍රතිපත්ති ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම තුළින් දේශීය හා විදේශීය සිසුන්ගේ අධ්‍යයන හා පර්යේෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා පහසුකම් පුළුල් කරමින් වේගවත් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාලයක්, තම දැනුම ව්‍යාප්ත කිරීමේ හැකියාවෙන් ඔබ්බට ගොස් සිසුන්ට අදාළ කුසලතා, නිවැරදි ආකල්ප වර්ධනය කර ගැනීමට අවස්ථාවන් නිර්මාණය කිරීම සහ දේශීය හා විදේශීය පරිසරයන් තුළ අනාගතයේදී තම යුතුකම් ඉටුකිරීම සඳහා සුදුසු මනසක් ඇති කිරීමේ පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සෑම විටම සිය ශිෂ්‍ය ප්‍රජාවගේ සංවර්ධනය පිළිබඳ තීරණ ගෙන ඇත්තේ නිවැරදි ආකල්ප පිළිබඳ මානසිකත්වයක් ඇති කරමින් ඔවුන්ගේ අදාළ න්‍යායික හා ප්‍රායෝගික දැනුම වැඩිදියුණු කිරීම සහ අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් බව ඔහු අවධාරණය කළේය.

අලුතින් පිහිටුවන ලද පරිගණක පීඨය මගින් මෙම ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්‍ෂා කරන සිසුන්ට අවස්ථාව සැලසෙන අතර, එය උපාධි අපේක්ෂකයින් හට ගුණාත්මක අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබාදීම සඳහා නවීන පහසුකම් වලින් සමන්විත වේ. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එහි ආරම්භයේ සිටම වේගයෙන් සංවර්ධනය වී ඇති අතර, එය රටේ ඉහළම අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ සභාපතිද වන ‌ජෙනරල් ගුණරත්න අනාවරණය කළේ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ලොව කීර්තිමත්ම ආරක්‍ෂක විද්‍යාපීඨ අතර 4 වැනි ස්ථානයට පත්ව ඇති බවයි. 2022 වර්ෂයේ ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට (Times Higher Education Impact Ranking), අනුව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ 2 වන ස්ථානයට සහ සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයට මෙන්ම ගෝලීය වශයෙන් 801-1000 පරාසයේ ඇති බවයි.

තම ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය සහ ජීවන අපේක්ෂාවන් ඉහළ නැංවීම සඳහා විශ්වවිද්‍යාලයේ සම්පත්, සංස්කෘතිය සහ එහි විශිෂ්ඨත්වය උපරිමයෙන් භාවිත කරන ලෙස ඔහු සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

එහි උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ දක්ෂිණ මණ්ඩපාධිපති මේජර් ජෙනරල් රොබින් ජයසූරිය විසින් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ආරක්‍ෂක ලේකම්ව පිළිගනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සඳහන් කළේ අධ්‍යාපනය සඳහා සිවිල් විද්‍යාර්ථීන් සහ හමුදා ශිෂ්‍ය භටයින් ඒකාබද්ධ කිරීම රටේ අනාගතය වෙනුවෙන් සිදුකළ හොඳ සංයෝජනයක් බවයි.

‍උපකුලපතිවරයා විසින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර, ආරක්‍ෂක ලේකම් විසින් ඔහු රචනා කරන ලද සම්පූර්ණ ග්‍රන්ථ කට්ටලයක් විශ්වවිද්‍යාල පුස්තකාලයට ප්‍රදානය කරන ලදි.

මෙම වැඩසටහන අතරතුර ජෙනරල් ගුණරත්න, උපකුලපති සහ විශ්වවිද්‍යාල නිලධාරීන් සමග කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල දක්ෂිණ මණ්ඩපයේ සියලුම පහසුකම් පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වූ අතර, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ අදහස් හුවමාරුවක්ද සිදුකළේය. සිය සංචාරය සනිටුහන් කිරීම සඳහා ඔහු පැළයක් ද රෝපණය කළේය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ, මෙට්‍රොපොලිටන් කැම්පස්හි මණ්ඩපාධිපති මේජර් ජෙනරල් ලාල් ගුණසේකර, අමාත්‍යාංශ නිලධාරීන්, විශ්වවිද්‍යාල කළමනාකාරීත්වයේ සාමාජිකයන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයින් සහ උපාධි අපේක්ෂකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.