ශ්‍රී ලංකා යුද හමුදාව සිය 73 වන සංවත්සරය අද සමරයි

ඔක්තෝම්බර් 10, 2022

මේජර් රවින්ද්‍ර කරුණාරත්න

  • යුද හමුදා දින පෙළපාලිය පනාගොඩ යුද හමුදා කඳවුරේදී පැවැත්‌වේ

'ජාතියේ ආරක්‍ෂකයා'  ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා යුද හමුදාව සිය 73 වන සංවත්සරය සහ යුද හමුදා දිනය, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් අද (ඔක් 10) පනාගොඩ යුද හමුදා ජනපදෙය්දී හමුදා සම්ප්‍රදායන්ට අනුව අභිමානවත් ලෙස සමරනු ලැබීය.  

1949 ඔක්තෝම්බර් 10 වන දින ලංකා යුද හමුදාව (Ceylon Army) ලෙස යුද හමුදාව ආරම්භ කරන ලද අතර අද වන විට රෙජිමේන්තු 25 කින් සමන්විත පූර්ණ වෘත්තීය යුද හමුදාවක් ලෙස උසස් මට්ටමකට ලඟා වී තිබේ. යුද හමුදාව සිය ඉදිරි ගමනේදී ජාතියේ ආරක්ෂකයන් ලෙස තම වගකීමට උර දෙමින් ජාතික ආරක්‍ෂක අවශ්‍යතා සපුරමින් රටේ කැපී පෙනෙන සංවර්ධන කාර්යයකට ඉමහත් ලෙස සම්බන්ධ වී ඇත.

 

 

පින්තුරඅනුග්‍රහය-https://en.wikipedia.org/wiki/Sri_Lanka_Army#/media/File:PM_visits_the_1st_Bn_CLI.jpg

ජාතික විපත්, ආපදා සහ හදිසි අවස්ථා වලදී සිවිල් අධිකාරියට සහය ලබා දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් දක්වන දායකත්වය රට පුරා සියලු ජනතාවගේ සිත් දිනා ගැනීමට හේතු වී තිබේ.කොවිඩ් -19 වසංගතයෙන් රටවැසියන් මුදවා ගැනීම සහ එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ අසමසම දායකත්වය පසුගිය කාලසීමාව තුළ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා විශාල වශයෙන් පහසුකම් සැලසීය.

රටතුළ ඇතිවන දැවැන්ත අභියෝග මධ්‍යයේ වුවද ස්වභාවික විපත්, ගංවතුර, නායයෑම් සහ වෙනත් ඕනෑම හදිසි අවස්ථාවකදී යුද හමුදාවේ කඩිනම් දායකත්වය සහ දැවැන්ත මානුෂීය සහන සැලසීම ඉමහත් ඇගයීමට ලක්ව ඇත.

තවද, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නිරත ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්, ජාත්‍යන්තර තලයේ සිදුකරනු ලබන ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් අඛණ්ඩව ප්‍රශංසා ලබමින්, විශිෂ්ඨ සේවයක නිරත ෙවමින් ශ්‍රී  ලංකා යුද හමුදාවේ ප්‍රතිරූපය ගොඩනැගීමට දායක වේ. එපමණක් නොව, ඔවුන් විදේශ ආදායමක් ගෙන ඒමෙන් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙයි.

මේ අතර, විවිධ මානුෂීය ව්‍යාපෘති සහ ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සඳහා යුද හමුදාව සම්බන්ධ වීම ඉතා ඵලදායී විය. යුද හමුදාවේ කෘෂිකාර්මික අංශය එහි සම්පත් යොදා ගනිමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සිය බහුවිධ දායකත්වය ලබා දෙයි. යුද හමුදාවේ විවිධාංගීකරණය වූ විශාල කෘෂිකාර්මික ව්‍යාපෘති, වන වගාව හා පශු සම්පත් ව්‍යාපෘති ජාතික ඉලක්ක සඳහා තම කාර්යය සිදු කරයි.

 

 

යුද හමුදාවේ මානව සම්පත්, තාක්ෂණික විශේෂඥතාව සහ විවිධ පරිත්‍යාගශීලී ආයතන සමඟ සම්බන්ධීකරණය උතුරු සහ නැගෙනහිර පළාත්වල දිළිඳු පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා බෙහෙවින් උපකාරී වී ඇත. යුද හමුදාව විසින් මෙලෙස ඉදිකරන ලද නිවාස විශාල ප්‍රමාණයක්, එම නිවාසවලට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම ජීවනෝපාය සපයාදීම සඳහා  සහය ලබා දීම සැබවින්ම මහජනතාවගේ ගෞරවයට හා ප්‍රසාදයට පාත්‍ර වී ඇත. මෙම ක්‍රියාවන් මගින් රටේ සියලුම ජාතීන් සමඟ යුද හමුදාවේ සුහදත්වය සහ සබඳතාව මනාව පෙන්නුම් කරයි.

 

මෙරට ක්‍රීඩා අංශයේ සංවර්ධනය සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පහසුකම් සැලසීම සඳහා යුද හමුදාව දක්වන දායකත්වය ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලදී ජයග්‍රහන ලබා ගැනීම සඳහා විශාල ලෙස උපකාරී වී ඇත.

රටට අඛණ්ඩව ආරක්ෂාව සපයමින් සෞඛ්‍ය සම්පන්න ජාතියක් සඳහා ප්‍රජා සත්කාර කාර්යයන්ද  ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සිදු කරයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන ලද සහ දැනට සේවයේ නියුතු සියලු දෙනාට ආශිර්වාද පතා යුද හමුදාවේ 73 වැනි සංවත්සරය වෙනුවෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය වෙත දානය පිරිනැමීම ද සිදුකරන ලදී.