රට සංවර්ධනය සඳහා ඉංජිනේරු අංශ ඒකාබද්ධ කිරීමේ පරිසරයක් සැකසීමට
හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය පහසුකම් ​සකස් කල යුතුය - ආරක්‍ෂක ලේකම්

ඔක්තෝම්බර් 14, 2022
  • හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය (College of Military Engineering and Technology, Sri Lanka) විවෘත කෙරේ
  • ත්‍රිවිධ හමුදාවේ හමුදා ඉංජිනේරුවන් එක් වෘත්තීය ආයතනයක් යටතේ ජාතිය ගොඩනැගීම සඳහා

වර්තමානයේදී, ත්‍රිවිධ හමුදාව, ජාතිය ගොඩනැගීමේ කාර්යය සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සහය වෙමින් සිටින අතර, ප්‍රධාන වශයෙන් හමුදා ඉංජිනේරුවන් විසින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා සිය සම්පූර්ණ දායකත්වය ලබාදේ.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (ඔක්තෝබර් 13) සවස අත්තිඩිය Eagle’s Lakeside හිදී හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාව තුල තිරසාර සංවර්ධනයක් ළඟා කරගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක් වෙත අප අවධානය යොමු කර ඇති හෙයින්, ත්‍රිවිධ හමුදාවේ ඉංජිනේරුවන් එක් වෘත්තීය ආයතනයක් යටතේ නිසි ලෙස සංවිධානය කිරීමටත්, ඔවුන්ට වෘත්තීය පිළිගැනීම සහ අවශ්‍ය දේ ලබාදෙමින් ඵලදායී ලෙස ජාතිය ගොඩනැගීම සඳහා ඔවුන්ගේ විශේෂඥතාව ලබාගැනීමටත් කාලය එළඹ ඇත.
 
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සහ සිවිල් ඉංජිනේරු සංගම්වල ඉංජිනේරු වෘත්තිකයන් අතර විශිෂ්ඨත්වය ළඟා කරගැනීම සඳහා මෙවැනි ඒකාබද්ධ සහ සහයෝගී ප්‍රවේශයක් තිබීම පිළිබඳ අගය කළ ජෙනරල් ගුණරත්න රටේ ඉංජිනේරු ඉතිහාසයේ විශාල ඉදිරි පිම්මක් වන මේ සඳහා අත්වැල් බැඳගත් සියලුම පාර්ශ්වකරුවන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

හමුදාවට පමණක් සීමා නොවී රටේ යහපත සඳහා විවිධ ඉංජිනේරු විසඳුම් සංවර්ධනය කිරීමට ත්‍රිවිධ හමුදාවේ ඉංජිනේරු ප්‍රයත්නයන් ඒකාබද්ධ කිරීම සඳහා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය දිරිගන්වන සුලු පරිසරයක් සඳහා පහසුකම් සපයනු ඇතැයි අපේක්‍ෂා කරන බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.
 
නව වෘත්තීය ආයතනයක් පිහිටුවීම, ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ විවිධ අරමුණු සඳහා සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට ඵලදායී ලෙස සහාය වනු ඇති අතර, මෙම සන්දර්භය තුළ, හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය සම්ප්‍රදායික ක්‍රමවේදයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන වෘත්තීය ඉංජිනේරු කළමනාකරණ ප්‍රවේශය හරහා ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ජෙනරල් ගුණරත්න මහතා පැවසීය.

තොරතුරු යුද්ධය සහ අසමමිතික තර්ජන ඇතුළු නවීන යුද්ධවලදී තර්ජන සහ අභියෝගවලට මුහුණ දීම සඳහා මෙම නව ඉංජිනේරු ක්ෂේත්‍ර හමුදා ඉංජිනේරු විද්‍යාවට ඇතුළත් කර ඇති බව හමුදා ඉංජිනේරු විද්‍යාවේ වැදගත්කම අවධාරණය කරමින් ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
 
අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා උත්සවයේ ප්‍රධාන දේශනය කළ අතර, හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ වෙබ් අඩවිය එළිදැක්වීමද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලයේ සභාපති ඉංජිනේරු තිලක් ද සිල්වා මහතා සහභාගී විය.

හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ සභාපතිවරයා විසින් ආරාධිත අමුත්තන් ලෙස පැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ඉංජිනේරු තිලක් ද සිල්වා මහතා, මහාචාර්ය කපිල පෙරේරා මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදි.

උත්සවය ආරම්භයේදී හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ විසින් පිළිගැනීමේ කතාව පැවැත්වීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බළසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු ආචාර්ය කමල් ලක්සිරි මහතා, ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ‌ජෙනරාල් මේජර් ජෙනරල් රේණුක රොවෙල්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.