යුද්ධ හමුදා භටපිරිස් සංවිධානයෙන් යාපනය ප්‍රදේශයේ වොලිබෝල් තරඟාවලියක්

ඔක්තෝම්බර් 22, 2022

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ උපදෙස් මත යාපනයේ සිවිල් වැසියන්ගේ සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතා වැඩි දියුණු කිරීමේ අදහසින්, 552 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරන ලද අන්තර් ග්‍රාම නිලධාරී කොට්ඨාශ වොලිබෝල් තරඟාවලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ හතක වොලිබෝල් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 15-16 දිනයන්හිදී පවත්වන ලදී.

දෙදිනක් පුරා පැවති මෙම තරඟාවලිය 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීරගේ අධීක්‍ෂණය මත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු වොලිබෝල් ක්‍රීඩා පිටියේදී පවත්වන ලද අතර, එහිදී තරඟ වැදුණු වොලිබෝල් ක්‍රීඩකයින් සිය හැකියාවන් සහ දක්‍ෂතා ප්‍රදර්ශනය කරන ලදී.

අවසන් මහා තරගය සඳහා කෝවිල්වායල් ග්‍රාම නිලධාරී කොට්ඨාශ කණ්ඩායම සහ ඉයක්කච්චි ග්‍රාම නිලධාරී කොට්ඨාශ කණ්ඩායම තේරී පත්වූ අතර, එම කණ්ඩායම් දෙක අතර පැවති ඉතා උණුසුම් තරගයකින් පසු කෝවිල්වායල් ග්‍රාම නිලධාරී කොට්ඨාශ වොලිබෝල් කණ්ඩායම ශූරයින් බවට පත්වූ අතර, අනු ශූරතාව ඉයක්කච්චි ග්‍රාම නිලධාරී කොට්ඨාශ වොලිබෝල් කණ්ඩායම හිමිකර ගැනීමට සමත් වූහ.

අවසන් මහා තරඟය පැවති අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් රෝහණ තිලකරත්න සහභාගී වූ අතර, ජයග්‍රාහී කණ්ඩායම් සහ ක්‍රීඩකයින් වෙත ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ද සහභාගි වූහ.

උපුටා ගැනීම - www.army.lk