ජාතිය ගොඩනැගීමේ කොටසක් ලෙස අපි ආගමික කටයුතු ද සිදු කරනවා
- ආරක්‍ෂක ලේකම්

නොවැම්බර් 05, 2022

ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස හැකි සෑම විටම පූජනීය සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිවල ද නිරත වන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසුවේය.

ඊයේ (නොවැ 04) මාතර පාලටුව බෞද්ධෝදය පිරිවෙනේ පැවති ජනහමුවක් අමතමින් මිහින්තලේ මිහිඳු මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු, නැගෙනහිර පළාතේ දීඝවාපිය සහ නීලගිරිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සහ අනුරාධපුර සඳහිරු සෑය පරිශ්‍රයේ ඉදිකිරීම් මේ වන විට ක්‍රියාත්මක වන සමහර කාර්යයන් බව ඔහු සඳහන් කළේය.

මාතර, පාලටුව බෞද්ධෝදය පිරිවෙනේ විහාර මන්දිරය විවෘත කිරීමේ උත්සවයේදී ජෙනරල් ගුණරත්න මෙම අදහස් පළ කළේය.

විහාරාධිපති පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමියන්ගේ ආරාධනයෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි හිමියන් විසින් අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත සිතුවම් කරන ලද විහාර මන්දිරය විවෘත කිරීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙම විවෘත කිරීමේ උත්සවයට පැමිණි මහා සංඝරත්නය ප්‍රමුඛ සම්භාවනීය ආරාධිත අමුත්තන් පිළිගෙන ආගමික වතාවත් සිදු කළේ මහා නායක පූජ්‍ය ගුණානන්ද හිමියන් විසිනි.

පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික ධර්ම දේශනාව පැවැත්විණි.

මෙම උදාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තාක්ෂණික විශේෂඥතාව සහ ශ්‍රමය ලබාදුන් බව ද ආරක්‍ෂක ලේකම්වරයා සිය දේශනයේදී ප්‍රකාශ කළේය.

මහා සංඝරත්නය, දානපතියන්, සංවිධායක කමිටු සාමාජිකයින්, පිරිවෙන් සැදැහැවතුන්, ප්‍රදේශවාසීන් සහ සිසු සිසුවියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.