සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

නොවැම්බර් 13, 2022

සන්නද්ධ හමුදා අනුස්මරණ දින උත්සවය අද (නොවැ. 13) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි යුද ස්මාරකය අසලදී පැවැත්විණි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවය මෙවර ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පවත්වන්නට යෙදුනි.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) ආරක්‍ෂක ලේකම් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී පිළිගනු ලැබීය.

මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා, අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහ සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයින් යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර, හිටපු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ පෙළපාලියක් ද ඉන් අනතුරුව පැවැත්විණි.

මහා සංග්‍රාමවලින් මියගිය රණවිරුවන් ඇතුළු මියගිය රණවිරුවන්ගේ මතකයන් සිහිපත් කරන පොපි මල් දිනය ලෙසින් ප්‍රචලිතව ඇති අනුස්මරණ දිනය ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හා නාවික හමුදාපතිවරුන්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, සේවා මුක්ත භට සංගමයේ නිලධාරීන්, සේවයේ නියුතු සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.