ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පවුලකට යුද හමුදාවෙන් නව නිවසක්

නොවැම්බර් 15, 2022

යුද හමුදාව විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා ඇති පවුලකට ඉදිකල නව නිවසක් පසුගියදා එම පවුල වෙත භාර දෙනු ලැබීය.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ 64 වන සේනාංකයේ 642 බලසේනාවේ 23 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් තාක්ෂණික විශේෂඥ දැනුම සහ ශ්‍රම බලය ලබා දුන් අතර, කොළඹ රාජකීය විද්‍යාලයේ 1980 වර්ෂයේ දමිළ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ විදේශයන්හි සහ දිවයිනේ වෙසෙන සාමාජිකයින් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වන ලද බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

නව නිවසේ යතුර තම දියණිය සමඟ දැනට පදිංචිව සිටින වැන්දඹුවක් වන රත්නම් පත්මරාජිනී මහත්මිය වෙත ප්‍රදානය කළ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සංජය වනසිංහ ඇතුළු අනුග්‍රාහකයින්, රාජ්‍ය නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.