ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බළකායෙන් උතුරේ ජනතාව වෙනුවෙන් ජීවිතාරක්ෂක වැඩසටහන් පවත්වයි

සැප්තැම්බර් 02, 2019

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් පසුගිය සතියේ යාපනය දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයක ජීවිතාරක්ෂක දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ මගපෙන්වීම් මත “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව යාපනය දිස්ත්‍රික්කයේ වැඩසටහන් මාලාව පවත්වා ඇති බව වෙරළාරක්‍ෂක බලකා මාධ්‍ය වාර්තා කරයි.

මෙම මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් පසුගිය අගෝස්තු මස 24, 25, 26, 28 සහ 29 යන දිනයන්හි වෙත්තලකේනි, පේදුරුතුඩුව, කරෙයිනගර්, කයිට්ස් සහ ඩෙල්ෆ් යන ප්‍රදේශවල වෙරළාරක්ෂක බලකා ජීවිතාරක්ෂක පාසලේ ජංගම පුහුණු කණ්ඩායම විසින් පවත්වා ඇත.

වෙරළබඩ ප්‍රජාව වෙනුවෙන් ජල සුරක්ෂිතතාව, දියේ ගිලීම් වැළැක්වීම සහ ප්‍රථමාධාර ලබා දීම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් පවත්වන ලද මෙම වැඩමුළුවන් මගින් 350 කට අධික පිරිසකට ප්‍රතිලාභ සැලසිණි.

මෙම වැඩමුළුවලට ජනාධිපති ලේකම් කාර්යාල නියෝජිතයින්, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.