දියකාවා යුද අභ්‍යාසය - 2019 පළමු අභ්‍යාසය සාර්ථකව අවසන් වෙයි

සැප්තැම්බර් 05, 2019

පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් 03) දින මින්නේරියේදී ආරම්භ වූ ශ්‍රී ලංකා හමුදාව විසින් සංවිධානය කරනු ලබන ක්ෂේත්‍ර යුද අභ්‍යාසය(FTX), ‘දියකාවා යුද අභ්‍යාසය 2019’ නැගෙනහිර කලාපය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වෙමින් පවතී.යුද හමුදා මාධ්‍යට අනුව ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි නැවක් සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුන් විසින් බදාදා දින (සැප්තැම්බර් 04) ත්‍රිකුණාමලය වරායේ ඇෂ්රොෆ් ජැටියේ දී මෙහෙයුමක් සිදුකරන ලදී.

මෙම මෙහෙයුමේදී යුද හමුදා සහ නාවික හමුදා භටයන් විසින් විදේශිකයන්ද ඇතුළුව 22 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත්හ. කමාන්ඩෝ භට පිරිස් නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය (SBS) සමඟ එක්ව අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 6 ක් සහ ත්‍රස්තවාදීන්ගේ පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ සෙවීම සඳහා පුහුණුකරන ලද සුනඛයන් ද යොදාගනිමින් මෙම මෙහෙයුම සිදු කරණ ලදී. බෙල් 212 හෙලිකොප්ටරයක් ගුවනේ සෝදිසි කිරීමේ යෙදී සිටියදී කමාන්ඩෝ භටපිරිස් විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ මෙහෙයුම දියත් කර ප්‍රාණ ඇපකරුවන් සියලුදෙනා නිරුපද්‍රිතව මුදාගැනීමට සමත්වූහ.

මෙම ඒකාබද්ධ ත්‍රිවිධ හමුදා යුධ පුහුණු අභ්‍යාසය සඳහා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු සහභාගී වන අතර මෙවර වාර්ෂික ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය (FTX) පවත්වන්නේ නොකඩවා 10 වන වරටයි.

මැලේසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, බංගලාදේශය,චීනය, ඉන්දියාව, පාකිස්ථානය, ඉන්දුනීසියාව, නයිජීරියාව සහ සැම්බියාව නියෝජනය කරමින් විදේශීය හමුදා නියෝජිතයන් 100 කට අධික සංඛ්‍යාවක් මෙවර “දියකාවා යුද අභ්‍යාසය අදියර 10 – 2019” සදහා සහභාගී වේ.

පුහුණු අභ්‍යාසය නැරඹීම සදහා අභ්‍යාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගී විය.