ශ්‍රී ලංකා නාවික නෞකාවන් ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත් වෙයි

සැප්තැම්බර් 06, 2019

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා දෙකක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 05) ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන අභ්‍යාසයට (SLINEX 2019) සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. නාවික හමුදා නිල වෙබ් අඩවියට අනුව ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යන නෞකා දෙක නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ ත්‍රීකුණාමල වරායෙන් පිටත් විය.

නාවික නෞකා දෙක සෙනසුරාදා (සැප්තැම්බර් 07) ඉන්දියාවේ විශාකාපට්නම් වෙත ළගා වීමට නියමිතය.

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් මස 07 වන දින සිට 12 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. නාවික හමුදා ධජ නිලධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා ඇතුළුව නිලධාරීන් සහ නාවිකයින් 323 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වේ.

නෞකාවන් පිටත් වීමේ උත්සව අවස්ථාව සදහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වීය.

මෙම අභ්‍යාසය මඟින් දෙරට අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමටත්, නාවිකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා අන්තර් ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙන අතර ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා තම හැකියාවන් වර්ධනය කර ගැනීමටත් පෙර පුහුණුවීම් සිදුකිරීමටත් දෙරටේ නාවික හමුදාවන්ට මෙමගින් අවස්ථාව උදාවේ.