‘අපේක්‍ෂා රෝහල’ට අත්‍යවශ්‍යව තිබු ස්කෑනර් යන්ත්‍ර දෙකක් යුද්ධ හමුදාව වෙතින් ලබාදෙයි

ජුනි 18, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් (Samsung HS40 Ultrasound Scanner Units) යන්ත්‍ර 02 ක් සඳුදා (ජූනි 17) දින ‘අපේක්‍ෂා’ රෝහල වෙත පරිත්‍යාග කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම නවීන ස්කෑනර් යන්ත්‍ර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කැපවූ රටේ ප්‍රධාන රෝහල සඳහා බෙහෙවින් අවශ්‍යව තිබු වෛද්‍ය උපකරණ වේ.

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ස්වේච්ඡාවෙන් සිදුකරන ලද එක් දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගනු ලැබු මෙම ස්කෑනර් යන්ත්‍ර දෙක ඊයේ පැවති චාම් උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පිළිකා රෝහල වෙත නිළ වශයෙන් භාරදෙන ලදි.

මෙම ස්කෑනර් යන්ත්‍ර දෙක මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රේෂණ පත පසුගිය මැයි මස 22 වන දින පැවති පරම වීර විභූෂන (PWV) පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත ලබාදෙන ලදී.

මෙම ස්කෑනර් යන්ත්‍ර දෙක හේතුවෙන් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කැපවූ දිවයිනේ එකම රෝහල වෙත පැමිණෙන පිළිකා රෝගීන් සිය ගණනකට නව බලාපොරොත්තුවක් ලබා දෙනු ඇත