සුනාමි ඛේදවාචකය සිදු වී අදට වසර 15යි

දෙසැම්බර් 26, 2019

සුනාමි ඛේදවාචකය සිදු වී අද දිනට වසර 15ක් ගතවී තිබේ. සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වූවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සහ සර්ව ආගමික වතාවත් සිදුකර දිවයිනේ දිස්ත්‍රික්ක 25 ක ජාතික සුරක්‍ෂිත දිනය අද (දෙසැම්බර් 26) දින  සමරන ලදී.                                                                         

2004 වර්ෂයේ දිවයිනට බලපෑ සුනාමි ව්‍යසනයට ගොදුරු වූවන් සැමරීම සඳහා දිවයින පුරා සිටින සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජනතාව විසින් පෙරවරු 09.25 සිට 09.27 දක්වා මිනිත්තු දෙකක නිහඩතාවයක් ආරක්ෂා කළහ.

තෙල්වත්ත පැරෑලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අබියසදී ජාතික සුරක්‍ෂිත දින ප්‍රධාන අනුස්මරණ වැඩසටහන පැවත්වූ අතර එම ස්ථානයේදී මගීන්ගෙන් පිරුණු දුම්රියක් සුනාමි රළ පහරින් ගසාගෙන ගොස් අනතුරට පත් විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ‍ජෙනරාල් විසින් ආරක්ෂක අංශ, පොලීසිය සහ සිවිල් ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම අනුස්මරණ උත්සවය පවත්වන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සදහන් කරන පරිදි, දිවයිනේ දිස්ත්‍රික්ක 25 ක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් ප්‍රාදේශීය මධ්‍යස්ථානයන් විසින් අනුස්මරණ උත්සව, ආගමික වතාවත් සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද අද දින පැවැත්වීමට සැලසුම් කර ඇත.

පළමු සුනාමි රළපහර 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින උදේ 08.00 ට පමණ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයට කඩාවැදුණි. ඉන්දුනීසියානු සුමාත්‍රා දූපත ආශ්‍රිතව ඇති වූ රික්ටර් මාපක 9.2 ක භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සහ කලාපයේ රටවල් ගණනාවකට සුනාමිය තත්වය ඇති විය. ශ්‍රී ලංකාව සුනාමි ඛේදවාචකය නිසා ජීවිත තිස් පන්දහසකට වඩා අහිමි වූ ඩොලර් මිලියන දස දහස් ගණනක් වටිනා දේපළ විනාශවීමෙන් දැඩිලෙස පීඩාවට පත් වූ රටකි.