දිවයිනේ ආරක්ෂාව සහතික කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සාමූහිකව කටයුතු කරයි - වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

ජනවාරී 02, 2020

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සන්නද්ධ හමුදාවන්හී සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දැක්මට අනුව රටේ සහ මහජනතාවගේ ආරක්ෂාව උපරිම ලෙස සහතික කරන බවට ප්‍රතිඥා දුන්නේය.

ලුතිතන් ජෙනරාල් සිල්වා මහතා සිය කාර්යාලයේදී රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ත්‍රිවිධ හමුදාවන්ට, පොලිසියට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිය රාජකාරි ඉටු කිරීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට සහතික විය.

 “අද ලෝකයේ සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රවණතාව වන්නේ හුදකලාව ක්‍රියාත්මක වීම නොව සියලු හමුදාවන් සමඟ එකමුතුව කටයුතු කිරීමයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ මග පෙන්වීම ඇතිව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එකට එක්කරමින් ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු කිරීමට මම සම්පූර්ණයෙන්ම කැපවෙනවා” ඔහු පැවසිය.

ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතීතයේ දී අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කළ ආකාරය ඔහු ඒ අවස්ථාවේදී සිහිපත් කළේය.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පිළිගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සම්මාන ආචාර පෙළපාලියක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන,බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ,යුද්ධ හමුදා මුලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එම් ඒ ඒ ඩි සිරිනාග, යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් සී එම් ඩි පී චන්ද්‍රසේකර, යුද්ධ හමුදා මුලස්ථානයේ යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් පී ජේ ගමගේ ඇතුළු ත්‍රිවිධ හමුදා නිළධාරින් විශාල පිරිසක් සහභාගී විය.