මහජනතාව භාණ්ඩ මිලදී ගැනීමට හෝ තොග ගබඩා කර ගැනීමට හදිසි වීම අවශ්‍ය නැති බව රජය පවසයි

මාර්තු 12, 2020

- හදිසි අවස්ථාවකදී, තොග ගබඩා කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව රජය විසින් මහජනතාව දැනුවත් කරනු ඇත. 

- නිවාස වල රඳවා නිරෝධායන පැවැත්වීමට කිසිඳු සැලසුමක් නොමැත.

කොරෝනා වෛරස් (COVID-19) වාහකයන් හඳුනා ගැනීම සඳහා  නිවාස වල රඳවා නිරෝධායන පවත්වන බවට පැතිර යන කටකතා හේතුවෙන් ඇති වූ බිය නිසා සුපිරි වෙළඳසැල් සහ වෙනත් සිල්ලර වෙළඳසැල් වලින් භාණ්ඩ හා තොග එක් රැස්කර තබා නොගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ගෝලීය වශයෙන් COVID -19 පිලිබඳව සමහර අසත්‍ය ප්‍රවෘත්ති සහ කටකතා වේගයෙන් පැතිර යාම නිසා සහ කොරෝනා අසාදිත රෝගීන් දෙදෙනෙක් හමුවීම යන හේතු නිසාවෙන් අද දින ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී වියලි සලාක හා වෙනත් භාණ්ඩ සුපිරි වෙළඳසැල් සහ වෙනත් සිල්ලර වෙළඳසැල් වෙතින් මිළදී ගෙන තිබුණි.

“හදිසියේම ජනතාව සීමාව ඉක්මවා භාණ්ඩ ලබාගැනීම හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්, මහජනතාවට දැනුම් දෙනු ලැබුවේ නිවාස වල රඳවා නිරෝධායන ආරම්භ කිරීමට කිසිදු තීරණයක් රජය විසින් ගෙන නැති බව හා අනවශ්‍ය ලෙස කලබල වීමට කිසිදු හේතුවක් නැති බවයි”. වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

වෙළඳසැල්වල භාණ්ඩ රැස්කර ගෙන සිටින්නේ දින දෙක තුනකට පමණක් ප්‍රමාණවත් තොග බවත් එක්වරම විශාල ලෙස ඒවා මිළදී ගත් පසු අවසන් වන නිසා භාණ්ඩ හිඟයක් ඇතිවීම සිදුවන බවද ඔහු defence.lk වෙත පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ, එවැනි හදිසි තත්වයක් ඇති වුවහොත් අවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්නා ලෙස මහජනතාවට රජය විසින් කල් ඇතුව දැනුම් දෙන බවයි.

“ශ්‍රී ලංකාවෙන් මේ වන විටත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් පමණයි හමුවෙලා තියෙන්නේ, ඒ නිසා ජනතාවට කිසිදු හේතුවක් නැහැ කලබල වෙලා භාණ්ඩ තම නිවෙස්වල ගබඩා කරගන්න.” යුද හමුදාපති පැවසීය.