අත් බෝම්බ, පතොරම් සහ වෙඩි නොවදින කබා සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ජුලි 01, 2020

අද (ජූලි 01) දින හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ජිව උණ්ඩ ළඟ තබාගෙන සිටි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුමේදී අත් බෝම්බ 7 ක්, රිපීටර් වර්ගයේ අවියක් , පතොරම් හතරක්, වෙඩි නොවදින කබා  දෙකක් සහ හදුනා නොගත්  පතොරම් 4 ක් ද සොයා ගන්නා ලදී. ජුනි 29 වන දින විශේෂ කාර්ය   බලකාය විසින් හෝමාගම ප්‍රදේශයේදී  සිදුකරන ලද වැටලීමකදී  සුළු අවි  12 ක් අත්අඩංගුවට ගත් අතර ඉන්  පසුව ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව හෝමාගම පොලිසිය විසින් මෙම සෝදිසි මෙහෙයුම ආරම්භ කළ බව පොලිසිය පවසයි.

ජුනි 29 වන දින විශේෂ කාර්ය බලකාය විසින් ගබඩාවක සඟවා තිබූ T-56 අවි  11 ක් සහ එක් T-81 අවියක් රාජසන්තක කළ අතර ගොඩනැගිල්ලේ හිමිකරු සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා  ලදී.

පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගත් කාන්තාව විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු සමඟ  අනියම් සම්බන්ධයක් ඇතැයි පැවසේ.

හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.