ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් මුලතිව් රෝහලට ලේ පරිත්‍යාග කරයි

ඔක්තෝම්බර් 19, 2023

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 74 වන සංවත්සරය නිමිත්තෙන් පසුගියදා (ඔක් 15) මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ලේ දන්දීමේ ව්‍යාපාරයක් සිදුකරන ලදි.

මෙහිදී 64 වන පාබල සේනාංකයේ නිළධාරීන් සහ සෙසු නිලයින් 90 කට වැඩි පිරිසක් මුලතිව් රෝහලට අවශ්‍ය රුධිරය පරිත්‍යාග කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 641, 642 සහ 643 පාබල බලසේනාවන්, 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව, 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කරන යුද හමුදා සාමාජිකයින් ලේ පරිත්‍යාග කිරීම සඳහා සිය දායකත්වය දැක් වූ බවද එහි දැක්වේ.

තවද 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්.දේවප්‍රියගේ උපදෙස් මත මුලතිව් රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම ලේ දන්දීමේ වැඩසටහන පවත්වන ලද බව එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.