කෘතඥතාව පළකිරීම
මැයි 11, 2025පසුගියදා (මැයි 9 දින) මාදුරුඔය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා කඳවුරේ පැවති විසිර යාමේ පෙළපාලියේ පෙර පුහුණුවීම් අතරතුර සිදු වූ බෙල් 212 හෙලිකොප්ටර් අනතුරෙන් පසු, විපතට පත් හමුදා සාමාජිකයන්ගේ දිවි බේරා ගැනීමට කැපවී ක්‍රියාකල මාදුරුඔය ප්‍රදේශයේ ජනතාවට, අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ හා පොළොන්නරුව මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයට මෙන්ම එම අවස්ථාවේ සහායට පැමිණි ගිනි නිවන සහ ගිලන් රථ සේවාවන්හි සාමාජිකයින් වෙත ආරක්‍ෂක අමාත්‍යාංශය සිය අවංක කෘතඥතාව පළ කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පීඩාවට පත්වූවන් ඉන් ක්‍ෂණිකව මුදා ගැනීමට මෙන්ම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීම සඳහා ඊට සම්බන්ධ වූ සියලු දෙනා දැක්‌වූ උත්සාහයන් තුලින් අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබීය. ඒ අතුරින් මාදුරුඔය ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ නොසැලෙන සහයෝගය ආරක්‍ෂක අමාත්‍යාංශය විශේෂයෙන් අගය කර සිටී. ඔවුන් දැක්වූ කඩිනම් ප්‍රතිචාර සහ පරාර්ථකාමී ක්‍රියාමාර්ග ඔස්සේ සන්නද්ධ හමුදා සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර පවතින අනෝන්‍ය සහයෝගීතාවය මනාව ඉස්මතු කෙරෙන අතර විපතේදී ජීවිත ආරක්‍ෂා කිරීමට මෙන්ම ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා වන කැපවීම ශක්තිමත් කරයි.
තුවාල ලැබූවන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර නොපමාව ලබා දීම සඳහා අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ හා පොළොන්නරුව මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ සුවිශේෂී කැපවීම සහ වෘත්තීයභාවය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රශංසාව එක් කර සිටී. තවද, එම හදිසි අවස්ථාව ඵලදායී අයුරින් කළමනාකරණය කිරීම සඳහා ක්ෂණිකව මැදිහත්වීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මනාව සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් උපකාරී වූ ගිනි නිවන සහ ගිලන් රථ සේවාවන්ගේ උත්සාහයන් වෙනුවෙන් ද ප්‍රශංසා කෙරේ.
මුදා ගැනීමේ මෙහෙයුමට දායක වූ සියලු දෙනා විසින් පෙන්නුම් කරන ලද සාමූහික කැපවීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිය කෘතඥතාව පළ කර සිටි. ඔවුන් දැක්වූ දායකත්වය තුලින් පරාර්ථකාමීත්වය, එකමුතුකම සහ නොසැලෙන සහයෝගය පිළිබිඹු කරයි.