නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා රාජකීය ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාලයේ දූත පිරිසක්
සමඟ උපායමාර්ගික සංවාදයක් පවත්වයි

මැයි 21, 2025

එක්සත් රාජධානියේ රාජකීය ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාලයේ නියෝජිත පිරිසක් සහ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අතර උපායමාර්ගික වශයෙන් වැදගත් විශේෂ සංවාදයක් අද (මැයි 21) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක යෙදී සිටින රාජකීය ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාලයේ නියෝජිත පිරිස ඔවුන්ගේ නිල සංචාරයේ එක් අදියරක් වශයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණියහ. සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් මෙම දූත පිරිසට Simon Stevens සාමිවරයා (Lord Stevens of Birmingham / UK Maritime and Coastguard Agency) සහ එයාර් කොමඩෝර් Paul O’Neil (විශ්‍රාමික) (ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂක කාර්ය මණ්ඩල නිලධාරී, රාජකීය ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාලය) විසින් නායකත්වය දෙනු ලබයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Darren Woods ද මෙම අවස්ථාවට එක් විය.

රාජකීය ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාලයේ දුත කණ්ඩායමේ මෙරට සංචාරයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා, ජාතික බුද්ධි ප්‍රධානී, නාවික හමුදාපති, ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් - ගුවන් මෙහෙයුම් යන නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් සහ ඊට සමගාමිව ප්‍රශ්නෝත්තර සැසියක් පවත්වමින් වඩාත් ඵලදායී අයුරින් අදහස් හුවමාරු කරගනු ලැබුහ.

සංචාරය අවසානයේ මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවයේ නිලධාරීන් අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු කරන ලදී. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරියා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.