7 වන ජාත්‍යන්තර ආරක්‍ෂක උපදේශක පාඨමාලාව සාර්ථකව අවසන් වේ

මැයි 22, 2025

7 වන ජාත්‍යන්තර ආර‍ක්‍ෂක උපදේශක පාඨමාලාව ඊයේ (මැයි 21) ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවති උත්කර්ෂවත් සමාප්ති උත්සවයකින් අවසන් වූ අතර, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මැතිනිය සහභාගී විය.

ජිනීවා ආරක්‍ෂක ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන ලද සතියක් පුරා පැවති මෙම පාඨමාලාව මැයි 14 වන දින ආරම්භ විය. මේ සදහා රටවල් 35 කට අධික සංඛ්‍යාවක ආරක්‍ෂක වෘත්තිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහභාගී වූ අතර, ඔවුන් හට එකිනෙකා අතර දැනුම හුවමාරු කරගැනීමට හා උපායමාර්ගික සහයෝගීතාව වර්ධනයට මෙම පාඨමාලාව තුලින් ඉඩප්‍රස්ථාව සැලසෙන ලදි.

සමාප්ති උත්සවයේදී, පාඨමාලාව සාර්ථකව අවසන් වූ බව සංකේතවත් කරමින් තානාපති Walt මැතිනිය විසින් පාඨමාලා සාමාජිකයින්ට සහතිකපත්‍ර ප්‍රදානය කරන ලදී.මෙම අවස්ථාවට ඇය සමග කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති බ්‍රිගේඩියර් ප්‍රදීප් රත්නායක සහ ආරක්‍ෂක, රාජ්‍ය තාන්ත්‍රික සහ පාඨමාලා අධ්‍යක්‍ෂ කර්නල් ආචාර්ය Laurent Currit ද එක් විය.

විදේශීය සම්බන්ධීකාරකවරුන්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක්ද මෙම සමාප්ති උත්සවයට සහභාගී වීය.