ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබූ
මත්ද්‍රව්‍ය තොගයක් දික්ඕවිට ධීවර වරායේ දී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ පරීක්‍ෂාවට
මැයි 28, 2025
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සාර්ථකව සිදුකරන ලද විශේෂ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබූ අති විශාල නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් පරීක්‍ෂා කිරීම සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (මැයි 28) දින දික්ඕවිට ධීවර වරාය වෙත පැමිණියේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකල ඒකාබද්ධ විශේෂ සමුද්‍රීය මෙහෙයුමක් ඔස්සේ මෙරට ලියාපදිංචි ධීවර යාත්‍රා දෙකක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ මෙතෆිටමයින් (අයිස්) සහ හෙරොයින් අඩංගු විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය තොගයක් සාර්ථකව අත්අඩංගුවට ගැනීමට හැකි විය. මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබූ අතර මත්ද්‍රව්‍ය සමඟ ඔවුන් සුරක්‍ෂිතව ගොඩබිමට ගෙන එන ලදි.
දික්ඕවිට වරායේදී මෙම මත්ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීමේ අවස්ථාවට සහභාගි වූ නියෝජ්‍ය අමාත්‍යවරයා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් පිළිගනු ලැබූ අතර ඉන් අනතුරුව මෙහෙයුම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමක් සිදුකරන ලදී. රාජ්‍ය බුද්ධි සේවය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය සම්බන්ධීකරණ මෙහෙයුම් මධ්‍යස්ථාන හා ශ්‍රී ලංකා නාවික හමුදාව පූර්ණ සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කරන ලදි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙරට බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් දරන අඛණ්ඩ උත්සාහයන් අගය කළයුතු බවයි. තවද, මෙම සාර්ථක මෙහෙයුම මගින් අපගේ ආරක්‍ෂක හමුදාවන් සහ දේශීය මෙන්ම ජාත්‍යන්තර බුද්ධි සේවාවන් අතර පවතින සමීප සම්බන්ධීකරණ උත්සාහයන්ගේ ශක්තිය මනාව පිළිබිඹු කෙරෙන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට සහ මතින් තොර සමාජයක් ගොඩනැගීමට කැපවී ක්‍රියා කරන බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ සියලුම පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද, එහිදී ඔහු තවදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද, සහභාගී වූහ.