වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ‘සෙනෙහස’අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ
තොරතුරු කේන්ද්‍රයෙහි හි සංචාරයක

ජුනි 12, 2025

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (ජුනි 12) දින ‘සෙනෙහස’අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි සංචාරයක නිරත වූ අතර, එහි සේනාවිධායක සහ කාර්ය මණ්ඩලය විසින් එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයාව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

‘සෙනෙහස’අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය ආරක්‍ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය යටතේ ස්ථාපිත ළමාරක්‍ෂක ආයතනයක් වන අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අවශ්‍යතා, සිහින සහ අභිලාෂයන් රැකබලා ගැනීම සහ සහාය දීමේ ප්‍රධාන අරමුණ ඇතිව පිහිටුවා ඇත. මෙම ආයතනය ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සාමාජිකයින්ගේ දරුවන් මෙන්ම, ත්‍රිවිධ හමුදාවන්හි සේවයේ නියුත සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දරුවන් වෙනුවෙන් දිවා කාලයේ රැකවරණය හා විශේෂ සත්කාර සපයයි.

‘සෙනෙහස’අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් උපේන්ද්‍ර කරුණාරත්න විසින් පවත්වන ලද සවිස්තරාත්මක විස්තර කිරීමකින් වැඩසටහන් මාලාව ආරම්භ වූ අතර, පසුව පන්ති කාමර පරීක්‍ෂාවක් ද සිදු කරන ලදී. මෙමඟින් වැඩබලන අමාත්‍යවරයාට මධ්‍යස්ථානයේ අධ්‍යාපනික වාතාවරණය සහ ඇතුළත් ඉගෙනුම් ක්‍රම ක්‍රියාත්මක කිරීම පිළිබද නිරීක්‍ෂණය කිරීමට අවස්ථාව සැලසින.

ළමා සංවර්ධනය සහ විශේෂ අධ්‍යාපනය සඳහා අධ්‍යාපන කේන්ද්‍රයෙහි කැපවීම පෙන්නුම් කරන වාර්තාමය වැඩසටහනකින් මෙන්ම, මෙහි ඉගෙනුම ලබන ළමුන් විසින් ඉදිරිපත් කරන ලද ආකර්ශනීය රංගනයන් වැඩසටහන් මලාවේ කැපී පෙනෙන අංගයන් විය. මෙම අවස්ථාවේ දරුවන් විසින් කෘතඥතාව සහ ගෞරවය දැක්වීමේ සංකේතයක් ලෙස වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයාට සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

තවද, මෙහි පවතින ගැටළු සහ අනාගත සංවර්ධනය පිලිබදව කර්යය මණ්ඩලය සමඟ සාකච්ඡා කල අමාත්‍යවරයා ගැටළු නිරාකරණයට හා අවශ්‍ය ඉදිරි සංවර්ධන කටයුතු සදහා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වූ අතර, අමුත්තන්ගේ පොතේ සටහනක් තැබීමෙන් සහ සමූහ ඡායාරූපයකට පෙනිසිටිමෙන් සංචාරය අවසන් විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක සේවා) සමන් දිසානායක මහතා, රණවිරුසේවා අධිකාරියේ සභාපති වරයාද සහභගි වූ අතර, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට අධ්‍යාපනය සහ රැකවරණය ලබා දීම සඳහා එම මධ්‍යස්ථානයේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරමින්, ඉගෙනුම ලබන සිසුන් සමඟ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ද එක්විය.