ආරක්‍ෂක අමාත්‍යාංශය ඉදිරිපස් වසර සඳහා උපායමාර්ගික සැලැස්ම සමාලෝචනය කරයි

ජුනි 14, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශයට අදාළව වර්ෂ 2025-2029 සඳහා වන උපායමාර්ගික සැලැස්ම සකස් කිරීමේ අරමුණින් විශේෂ වැඩමුළුවක් අද (ජුනි 14) දින උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාවේදී දියත් කරන ලදී. ඉදිරි වසර පහ තුළ ජාතික ආරක්‍ෂක ප්‍රමුඛතා සහ මෙහෙයුම් සඳහා අවශ්‍ය කෙරෙන දිශානතිය සකස් කිරීම මෙම වැඩමුළුව මගින් අරමුණු කෙරේ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සැලසුම් විශේෂඥයින් විශාල පිරිසක් ඔවුන්ගේ තීක්‍ෂණ බුද්ධිය බෙදා ගැනීමට මෙන්ම ක්‍රියාකාරී සහ ඉදිරි දැක්මක් සහිත උපාය මාර්ගික ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය අඩිතාලම සැකසීම වෙනුවෙන් මේ සඳහා සහභාගි වූහ.

අධ්‍යක්‍ෂ ජෙනරාල් (සැලසුම්) ආර්.ඩී. අනුර රණසිංහ මහතා විසින් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කිරීමෙන් සැසිවාරය ආරම්භ වූ අතර ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් සැසිවාරය පිළිබඳ හඳුන්වාදීම සිදු කළේය. ඉන් පසු වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සභාව අමතමින් ජාතික ආරක්‍ෂාව සහ ආරක්‍ෂක හැකියාවන් පවත්වා ගැනීම සඳහා දිගුකාලීන සැලසුම් කිරීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කළේය.

උපායමාර්ගික සැලසුම් සකස් කිරීමේ ප්‍රධාන අදියර තුනකට ව්‍යුහගත වූ මෙම වැඩමුළුව, ජල සම්පාදන අමාත්‍යාංශයේ හිටපු ලේකම් හා වැඩමුළුවේ ප්‍රධාන සම්පත්දායකයා ලෙස කටයුතු කල මොන්ටි රණතුංග මහතා විසින් මෙහෙයවන ලදී. දිවා ආහාරයට පෙර පළමු සහ දෙවන සැසි ඔස්සේ ආරක්‍ෂක උපායමාර්ගික රාමුවේ මූලික අංග ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ අතර, දිවා ආහාර විවේකයෙන් පසු තුන්වන සැසිවාරයේදී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ සහ ඇගයීම් නිර්ණායක ‍යන කරුණු පිළිබඳ අවධාරණය කරනු ලැබීය.

වැඩමුළුවේ සමාලෝචන සහ සාකච්ඡා සැසියකින් දිනයේ කටයුතු අවසන් වූ අතර, එහිදී වැඩමුළුවට සහභාගි වූවන් හට පසු කථන ලබා දීමට සහ යෝජිත උපාය මාර්ග තවදුරටත් පැහැදිලි කිරීමට අවස්ථාව සපයනු ලැබීය.අන්තර් සහයෝගීතාවයෙන් සහ මනාව ව්‍යුහගත වූ මෙම වැඩමුළුව මගින් ඉදිරි වසරවලදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ක්ෂේත්‍රයේ පෙර සූදානම සහ අභියෝග වලට මුහුණ දීමේ හැකියාව සහතික කරමින්, විකාශනය වන ජාතික හා ගෝලීය අභියෝග සමඟ ආරක්ෂක සැලසුම් පෙළගැස්වීමේ ප්‍රධාන පියවරක් සනිටුහන් කළේය.