2025 ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩිතැබීමේ තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වෙයි
ජුනි 23, 2025ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩිතැබීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ Pistol Caliber Carbine (PCC) සහ Handgun Level III වෙඩිතැබීමේ ජාතික තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. මෙම උත්සවය පසුගිය ඉරිදා (ජුනි 22) වැලිසර "Wave’n Lake" නාවික හමුදා උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
පසුගිය ජුනි 18 සිට 22 දින දක්වා පැවති මෙම ජාතික ශූරතා වෙඩිතැබීමේ තරඟාවලියට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආයතන 16 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 270 දෙනෙකු සහභාගී වූ අතර, එමඟින් ජාතික ක්‍රීඩා දින දර්ශනයේ මෙම ඉසව්වේ වර්ධනය සඳහා වන ප්‍රමුඛතාවය අවධාරණය කෙරිණි.
ප්‍රධාන ආරාධිත අමුත්තාගේ පැමිණීමත් සමඟ උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වූ අතර, ඉන් අනතුරුව සාම්ප්‍රදායිකව පොල්තෙල් පහන දැල්වීම සහ ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපතිවරයා විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදි. ත්‍යාග ප්‍රදානය අදියර දෙකකින් සිදු කෙරුණු අතර, දෙවන අදියරේදී ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් තරඟාවලියේ ඉහළම දක්‍ෂතා දැක්වූ ත්‍යාගලාභීන් දොළොස් දෙනෙකුට සම්මාන ප්‍රදානය කරන ලදි.
තරඟාවලියේ අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් මංජුල දිසානායක, ආරෝපණ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් කෙනත් එඩේමා (විශ්‍රාමික), ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩිතැබීමේ සම්මේලනයේ ශ්‍රී ලංකා කලාප අධ්‍යක්‍ෂ මේනක ලියනගේ, එම සම්මේලනයේ ලේකම් Ijaz Meezan සහ භාණ්ඩාගාරික Denzil Kao යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.