නව ගුවන් හමුදා රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් වල
ප්‍රගතිය සමාලෝචනය කෙරේ

ජුලි 08, 2025

නව ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් වල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (ජූලි 08) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සඳහා ලබාදෙන වෛද්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින් ඒ සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා මුලපිරීමක් වශයෙන් නාරාහේන්පිට ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.

රෝහල් සංකීර්ණය නිශ්චිත කාලසීමාව තුල නිම කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වල වත්මන් ප්‍රගතිය ඒ සඳහා මූලිකව කටයුතු කරන ආයතන අතර අන්තර් සම්බන්ධීකරණය සහ අවශ්‍ය උපාය මාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. එහිදී, අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා දැනට සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික ගුවන් හමුදා සාමාජිකයන් හට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට අවශ්‍ය පරිදි අති නවීන වෛද්‍ය පහසුකම් හා සේවාවන් ලබාදීම සඳහා ක්‍රියාත්මක මෙම සහයෝගී උත්සාහයේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් මෙන්ම විවිධ රජයේ ආයතනවල ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය, කෘෂිකර්ම, පාශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යන ආයතන ඊට ඇතුළත් විය.