විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට සහ රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ
පවුල්වල සාමාජිකයින්ට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අඛණ්ඩ රැකවරණය

ජුලි 09, 2025

විශ්‍රාමික හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ මෙන්ම රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නොසැලෙන කැපවීම නැවත වරක්‌ ප්‍රදර්ශණය කරමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මඟපෙන්වීමෙන් හා සහභාගීත්වයෙන් මහජන දින වැඩසටහන අද දින (ජුලි 09) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම මහජන දින හමුවේදී දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල අවශ්‍යතා සහ ගැටළුවලට විසඳුම් සෙවීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන ලදි. එහිදී ආරක්‍ෂක ලේකම්වරයා පෞද්ගලිකවම මැදිහත්වී රණවිරුවන්ගේ සහ ජීවිත පුදකල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ගැටළු කඩිනමින් විසඳාලීමට සහ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශ නිලධාරීන්ට ලබා දෙන ලදී.

මහජන දින සේවාව රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවති අතර, තවදුරටත් එය රණවිරුවන් ජාතියට කල අතිමහත් සේවය සහ කැපකිරීම වෙනුවෙන් අමාත්‍යාංශය දක්වන අඛණ්ඩ කැපවීම මානව පෙන්නුම් කල තවත් සුවිශේෂි අවස්ථාවක් විය.