වියට්නාම් ජනරජයේ 80 වන නිදහස් සංවත්සරය සහ ශ්‍රී ලංකා - වියට්නාම
රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරය කොළඹදී සමරයි
අගෝස්තු 20, 2025
වියට්නාම් සමාජවාදී ජනරජයේ 80 වන නිදහස් සංවත්සරය සහ ශ්‍රී ලංකා - වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට වසර 55 ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (අගෝ. 19) දින කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබිඹු කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වු අතර, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද, එම අවස්ථාවට සහාභාගි වන ලදි.
දෙරට අතර පවතින නොබිඳෙන සබඳතා තවදුරටත් ශක්තිමත් කරන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ වටිනාකම් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ගරු Trinh Thi Tam මැතිණිය විසින් උත්සවයට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තාය.
වියට්නාමයේ විවිධ සාම්ප්‍රදායික ජන ජීවිතය විදහා දැක්වෙන සංස්කෘතික සංදර්ශනවලින් මෙම සන්ධ්‍යාව විචිත්‍රවත් වූ අතර, එමගින් වියට්නාම් වැසියන්ගේ පාරම්පරික උරුමයේ සහ මිත්‍රත්වයේ කල් පවතින බැඳීම් සංකේතවත් කරනු ලැබීය. මෙම වර්ණවත් උත්සව අවස්ථාවට අමාත්‍යවරුන්, නියෝජ්‍ය කථානායක, පළාත් ආණ්ඩුකාරවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරින්, යුද්ධ හමුදාපති, ගුවන් හමුදාපති, මෙන්ම විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර පවතින පුළුල් පරාසයක විහිදී පවතින සම්බන්ධතාවන් ද ඉස්මතු කිරීමට සමත් විය.
මෙම සැමරුම් උත්සවය ඔස්සේ වියට්නාම සමාජවාදී ජනරජය නිදහස ලැබීමේ ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කළා පමණක් නොව, වසර 55 කට අධික කාලසීමාවක් පුරා දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හවුල්කාරිත්වය, අන්තර් සහයෝගීතාවය සහ සංස්කෘතික සබැඳියාවද යළි තහවුරු කරනු ලැබීය.