සෞඛ්‍ය සහ ආරක්‍ෂක ක්‍ෂේත්‍රයන්හි සහජීවනය ශක්තිමත් කිරීම

සැප්තැම්බර් 03, 2025

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් හා ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟ ඊයේ (සැප්. 02) දින වේරහැර පිහිටි ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය ශික්‍ෂණ රෝහල් පරිශ්‍රයේ නිල සංචාරයක නිරත වූහ.

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර විසින් අමාත්‍යවරුන් ප්‍රමුඛ දූත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, විශ්ව විද්‍යාලයීය ශික්‍ෂණ රෝහල පිළිබඳ සවිස්තරාත්මක හැදින්වීමක් සිදු කල අතර, එහිදී රෝහල සතු අති නවීන තාක්ෂණික පහසුකම් සහ සංවිධානාත්මක මෙහෙයුම් ධාරිතාව සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබා දෙන ලදි.

රෝහල් පරිශ්‍රය තුල සිදුකළ සංචාරයෙන් අනතුරුව, අමාත්‍යවරුන් හා නිලධාරීන් එහි පවතින සම්පත් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර සම්බන්යෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්වුහ. එහිදී, දැනට රට තුල පවතින සෞඛ්‍ය සේවා අවශ්‍යතාවන් මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්‍ය අවශ්‍යතාවන් ද සපුරාලීම සඳහා රෝහල සතු සම්පත් හා සංවිධානාත්මක ව්‍යුවහය ක්‍රමවත්ව පෙළගැස්වීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. තවද, රෝහලේ කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කිරීම, විශේෂිත රෝග සත්කාර සේවාවන් පුළුල් කිරීම, වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සැපයීම යන ක්ෂේත්‍රවල අන්තර් සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ආරක්‍ෂක ක්‍ෂේත්‍ර අතර පවතින සහයෝගීතාවය හා අන්තර් සබඳතාවය මෙම සංචාරය ඔස්සේ මනාව පිළිබිඹු කළ අතර, වෘත්තිමය නිපුණත්වයෙන් යුත් අනාගත වෛද්‍යවරුන් බිහි කරමින්, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමට මූලික වන හවුල් දැක්ම යළිත් තහවුරු කරනු ලැබීය.