ආරක්‍ෂක ලේකම්වරයා කොරියානු ජාතික දින
සැමරුම් උත්සවයට සහභාගී වේ

ඔක්තෝම්බර් 02, 2025

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී අද (ඔක්තෝබර් 2) දින පැවති කොරියානු ජාතික දින සැමරුම් උත්සවයට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) ද සහභාගී විය. 

ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපති කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උත්සවය, කොරියානු ජාතියේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායිකව පවත්වනු ලබයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු (මහාචාර්ය) සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මැතිණිය, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූවාය. මෙම සැමරුම් උත්සවය කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම තවදුරටත් වර්ධනය වන සහයෝගීතාව ද ඉස්මතු කෙරෙන අවස්ථාවකි.

එහිදී සභාව ඇමතූ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි, ගරු Miyon Lee මැතිණිය, කොරියානු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවේ වැදගත්කම අවධාරණය කළ අතර, අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සිය රටේ කැපවීම පිළිබඳ යලිත් තහවුරු කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකවරයා, හිටපු ජනාධිපතිවරුන්, කැබිනට් අමාත්‍යවරුන්, යුද හමුදාපති සහ ගුවන් හමුදාපති, පොලිස්පති, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, සම්භාවනීය අමුත්තන්, කොරියානු සහ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් පිරිසක් ද එක්ව සිටියහ. මෙම අවස්ථාව දෙරට අතර සංස්කෘතික හුවමාරුව පෝෂණය කිරීමට සහ සහයෝගීතාව සඳහා නව ප්‍රවේශයන් ගවේෂණය කිරීම සඳහා අනගි අවස්ථාවක් සලසාලනු ලැබීය.