ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය ආවේක්‍ෂණ බලඝණයට
ජනාධිපති වර්ණ පිරිනමයි

ඔක්තෝම්බර් 19, 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ සමස්ථ ජාතියට සිදුකරන ලද විශිෂ්ඨ සේවාව අගය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 3 සමුද්‍රීය ආවේක්‍ෂණ බලඝණයට ජනාධිපති වර්ණ පිළිගැන්වීම හා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ පෙළපාලිය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 18) දින ත්‍රිකුණාමලය චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ දී පවත්වන ලදි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් මෙම අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට සහභාගී වූ ඉහළ පෙළේ අමුත්තන් අතර වූහ.

එහිදී අංක 66, 67 සහ 68 කැඩෙට් නිලධාරී බඳවා ගැනීම් පාඨමාලා, අංක 20 කාන්තා කැඩෙට් නිලධාරී බඳවා ගැනීම් පාඨමාලාව, අංක 38 සහ 39 කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ (KDU) කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීම් පාඨමාලාවල සාර්ථකව පුහුණුව අවසන් කළ කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම සිදුකෙරිණ. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් හා නිලධාරිනියන් 66 දෙනෙකු පයිලට් ඔෆිසර් නිලයෙහි අධිකාරී ලැබූ අතර, අංක 103 පියාසර පුහුණු පාඨමාලාවේ සුදුසුකම් සපුරන ලද කැඩෙට් නිලධාරීන් සිව් දෙනෙකු ගුවන් නියමුවන් ලෙස පියාසර ලාංජන ලැබූහ. එමෙන්ම පුහුණු කාලසීමාව අතරතුර විශිෂ්ඨ කාර්ය සාධනයක් පෙන්නුම් කළ නිලධාරීන් වෙත විශේෂ සම්මාන සහ කුසලානද පිරිනමන ලදි.

මෙදින පිරිනමන ලද ජනාධිපති වර්ණ ප්‍රදානය  සමඟින් මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජනාධිපති වර්ණ 14ක් හිමි වී තිබේ.

ඊයේ උදෑසන පැවති මෙම අවස්ථාවට මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක (විශ්‍රාමික), නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා, යුද්ධ සහ නාවික හමුදාපතිවරුන්, නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම එදින අධිකාරියට පත් වූ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.