ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව අධිකාරීලත් නිලධාරීන්ගේ සාම්ප්‍රදායික නිල රාත්‍රී භෝජන සංග්‍රහය ආරක්‍ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ
ඔක්තෝම්බර් 19, 2025ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව අධිකාරීලත් නිලධාරීන් සඳහා පැවැත්වෙන සාම්ප්‍රදායික නිල රාත්‍රී භෝජන සංග්‍රහය (Commissioning Ball) ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 18) දින සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය, චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ දී විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
සාර්ථකව පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව අධිකාරීලත් නිලයන් ලෙස සේවයට එක්වන නිලධාරීන් නිලධාරී නිවස්නය වෙත පිළිගැනීම සඳහා මෙම උත්සවය පවත්වනු ලබයි. හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සහ විචිත්‍රවත් අයුරින් පැවති මෙම උත්සව අවස්ථාව සහෝදර හමුදා නිලධාරීන් අතර සුහදශීලීත්වය ගොඩනඟා ගැනීම සඳහා වේදිකාවක් සපයනු ලබයි.
මෙහිදී නව අධිකාරීලත් නිලධාරීන් අතුරින් සුවිශේෂී නායකත්වය සහ දක්‍ෂතා වෙනුවෙන් දක්‍ෂතම නිලධාරියා වෙත පිරිනමනු ලබන කීර්තිමත් ගෞරව අසිපත හා කුසලානය (Sword of Honour Trophy) පිරිනැමීම මෙදින සන්ධ්‍යාවේ විශේෂ අවස්ථාවක් විය.
ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර, ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහ නව අධිකාරීලත් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.