ආරක්‍ෂක ලේකම්වරයා කොළඹ පැවති බ්‍රිතාන්‍ය සමරු දින
උත්සවයට සහභාගී වේ

නොවැම්බර් 11, 2025

පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී දිවි පිදූ පොදු රාජ්‍ය මණ්ඩලීය රට වල සාමාජිකයන් විසින් දැක්වූ අපරිමිත කැපකිරීම් හා ධෛර්යයට ගෞරව දැක්වීමේ අරමුණින් අද (නොවැම්බර් 11) දින කොළඹ ජාවත්ත පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියේදී බ්‍රිතාන්‍ය සැමරුම් දිනය පවත්වන ලදි. 

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින්, විදෙස් තානාපතිවරුන්, ඇතුළු ප්‍රභූවරුන් රැසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

එහිදී ,දිවි පිදූ යුධ විරුවන් හට ගෞරව දැක්වීම සඳහා පුෂ්පෝහාර දැක්වීමෙන් අනතුරුව, විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මැතිතුමා, ඉන්දීය මහ කොමසාරිස්, ප්‍රංශ තානාපති, ජර්මානු තානාපති, ජපන් තානාපති සහ කැනඩා මහ කොමසාරිස්, පොලිස්පතිවරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ද මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අතර වූහ.