ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් ග්‍රාමීය පාසල් සඳහා ද්‍රව්‍යමය පරිත්‍යාග සහ පුස්තකාල අලුත්වැඩියා වෙනුවෙන් සහාය දක්වයි

නොවැම්බර් 13, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සිය සමාජ වගකීම් හා ප්‍රජා සුබසාධනය තවදුරටත් පුළුල් කරමින් අද (නොවැම්බර් 13) දින අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් ප්‍රජා සුබසාධන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගලෙන්බිඳුණුවැව, රත්මල්වැටිය ප්‍රාථමික විද්‍යාලයේදී පාසල් උපකරණ සහ පොත් බෙදාදීමේ වැඩසටහනක් පැවැත්විණි. මෙම වැඩසටහන මඟින් අත්‍යවශ්‍ය පාසල් සැපයුම් අවශ්‍යතා සහිත පාසල් දරුවන් වෙත අවශ්‍ය පොත්පත් හා උපකරණ රාශියක් ලබා දෙන ලදි. මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන) ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අධ්‍යාපන දෙපාර්තමේන්තු නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.

ඉන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගයෙන් මාතබුව, පළුගොල්ලගම විද්‍යාලයේ සිදුකරන ලද පුස්තකාල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කිරීම සඳහා පැමිණියාය.

මෙම වැඩසටහන් මගින් ග්‍රාමීය ප්‍රජාවන් තුළ අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ සිසුන්ට අවශ්‍ය අධ්‍යාපනික සහාය සැලසීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ නිරන්තර කැපවීම ඉස්මතු කරයි.