ආරක්‍ෂක අමාත්‍යාංශය සිය කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා ප්‍රතිඵල මත පදනම් වූ කළමනාකරණ ක්‍රමවේදයට යොමු වෙයි
නොවැම්බර් 19, 2025රාජ්‍ය අංශයේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා වූ ප්‍රගතිශීලී පියවරක් ලෙස, ප්‍රතිඵල මත පදනම් වූ කළමනාකරණය (RBM) ආයතනීකරණය කිරීම පිළිබඳ විශේෂ සැසියක් පසුගිය සතියේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණ. මෙම මුලපිරීම ඔස්සේ සියලුම රාජ්‍ය ආයතන හරහා වගවීම, විනිවිදභාවය සහ කාර්යක්‍ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන රජයේ පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය සමඟ පෙළගැසී ඇත.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට සහභාගී විය.
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් යටතේ මෙම ප්‍රතිසංස්කරණ මුලපිරීම ක්‍රියාත්මක කෙරෙන අතර, එමගින් දැනට පවතින බාධක ක්‍රමානුකූලව ඉවත් කරමින් ප්‍රතිඵල - නැඹුරු ක්‍රමවේදයක් තුළින් සියලු රාජ්‍ය ආයතන ජනතාව කේන්ද්‍ර කරගත් ආයතන බවට පරිවර්තනය කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ප්‍රතිඵල මත පදනම් වූ කළමනාකරණ ආකෘතිය ඉදිරියේදී සියලුම අමාත්‍යාංශ හරහා හඳුන්වා දෙනු ඇති බවත්, ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය නුදුරු අනාගතයේදී එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට නියමිත බවත්ය. ජාතික ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය සඳහා අමාත්‍යාංශය විසින් සිදුකෙරෙන ප්‍රධාන කාර්යභාරය හා එහි ප්‍රතිදානයන් සියලු පුරවැසියන් විසින් සමීපව නිරීක්‍ෂණය කරන බව සඳහන් කල නියෝජ්‍ය අමාත්‍යවරයා, විනය, සේවයේ ගුණාත්මකභාවය සහ මහජන තෘප්තිය වැඩි දියුණු කිරීමේ වැදගත්කමද, අවධාරණය කළේය.
ප්‍රතිඵල මත පදනම් වූ කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමෙන් මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවෙන අතරම, ආරක්‍ෂක අංශයේ විනය, සම්බන්ධීකරණය හා උපායමාර්ගික සැලසුම්කරණය ද වැඩිදියුණු වන බව නියෝජ්‍ය අමාත්‍ය ජයසේකර අවධාරණය කළේය. මහජනයා මෙම අමාත්‍යාංශයේ කාර්යභාරය පිළිබඳ ඉහළ අපේක්‍ෂාවන් තබා ඇති බැවින්, කාර්යසාධනය පදනම් කරගත් පාලන ආකෘති අනුගමනය කිරීමේදී ආදර්ශයෙන් පෙරට යෑම අත්‍යවශ්‍ය කරුණක් බව ද, ඔහු පෙන්වා දුන්නේය.
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) රැස්වීම අමතමින් ප්‍රකාශ කලේ, අන්තර් ආයතන සහයෝගීතාවය තහවුරු කිරීම අත්‍යවශ්‍ය වන බවයි. ඒ අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්යසාධන ප්‍රගතිය, සමස්ත රාජ්‍ය අංශයටම ආදර්ශයක් සපයනු ඇති බවද, ප්‍රකාශ කළේය.
මෙම ඉහළ පෙළේ රැස්වීමට ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම. ජ්‍යෙෂ්ඨ හමුදා සහ පරිපාලන නිලධාරීන් පිරිසක් ද, සහභාගී වූහ.