ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් ගංවතුරෙන් පීඩාවට පත් නෙළුව ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ මහජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් සලසයි
නොවැම්බර් 22, 2025අද (නොවැම්බර් 22) දින පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් නෙළුව ප්‍රදේශයේ ඇති වී තිබෙන හදිසි ගංවතුර තත්ත්වයට ක්‍ෂණිකව ප්‍රතිචාර දක්වමින්, 573 වන පාබල බලසේනාව යටතේ ඇති 20 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින්, එම ප්‍රදේශයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට සහය වීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබේ.
එම වර්ෂාධික කාලගුණික තත්ත්වයන් හේතුවෙන්, නෙළුව නගරයේ නෙළුව-දෙල්ලව මාර්ගයේ මීටර් 150 ක පමණ කොටසක් ජලයෙන් යට වී ඇති අතර, එහි ජල මට්ටම අඩි 03 ක් පමණ දක්වා ඉහළ යාම නිසා සැහැල්ලු වාහන සඳහා එම මාර්ගය භාවිතා කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.
විශේෂයෙන්ම විභාග මධ්‍යස්ථාන වෙත යන සිසුන්ගේ හදිසි අවශ්‍යතාවය හඳුනාගනිමින්, නිලධාරියෙකු සහ සෙසුනිලයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමක් වහාම එම ස්ථානයට අනුයුක්ත කරනු ලැබීය. බාධාවකින් තොර ගමනාගමනය සහ මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා, යුද්ධ හමුදා ට්‍රක්රථ සහ ට්‍රැක්ටර් රථ යොදා ගනිමින් ජලයෙන් යටවූ මාර්ග කොටස හරහා පාසල් සිසුන් සහ සිවිල් වැසියන් ප්‍රවාහනය කිරීමට හමුදා භටයින් මේ වන විට කටයුතු කරමින් සිටී.
මෙම සහන මෙහෙයුම ආරක්‍ෂක අමාත්‍යාංශය, යුද්ධ හමුදා මූලස්ථානය හා යුද්ධ හමුදා 573 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ සිදු කෙරේ.