පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ නායයෑමෙන් විපතට පත් ජනතාවට සහාය වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන සිංහ රෙජිමේන්තුවේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරයි

නොවැම්බර් 22, 2025

අද (නොවැම්බර් 22) උදෑසන පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම හා ඉන් මුදාගැනීම සඳහා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 611 වන පාබල බලසේනාව යටතේ ක්‍රියාත්මක 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ (8 SR) භට පිරිස් විසින් කඩිනම් සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මාවනැල්ල පොලිස් බලප්‍රදේශයට අයත් ගනේතැන්න ග්‍රාම නිලධාරී වසමේ අද උදෑසන 0900 ට පමණ මෙම සිදුවීම වාර්තා විය. නායයෑම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවසක් සහ හෝටලයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මේ හේතුවෙන් තුවාල ලැබූ සිවිල් වැසියන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කඩිනමින් මාවනැල්ල රෝහල වෙත රැගෙන යාමට යුද්ධ හමුදා භට පිරිස් සහාය වූහ.

මේ වන විට, සුන්බුන් යට සිරවී ඇතැයි විශ්වාස කෙරෙන අතුරුදහන් වූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 15 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා කණ්ඩායමක් අනුයුක්ත කොට තිබේ. තවද, මුදා ගැනීමේ කටයුතු වලට සහාය වීම සඳහා එම රෙජිමේන්තුවේ තවත් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානය වෙත යොදවනු ඇත.