ඉන්දීය ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු වෙනුවෙන් අති නවීන ජංගම රෝහල් පද්ධති දෙකක් පිහිටුවයි

දෙසැම්බර් 02, 2025

පසුගිය දිනවල දිවයිනට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130J වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අති නවීන ජංගම රෝහල් පද්ධති (BHISHM Cubes) දෙකක් පසුගියදා (නොවැ. 30) ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරනු ලැබීය. ඒ සමඟින් මෙම හදිසි ආපදා සහන සේවා මෙහෙයුම සඳහා, විංග් කමාන්ඩර් Sanjay Kumar ගේ නායකත්වයෙන් පස් දෙනෙකුගෙන් සමන්විත විශේෂ පුහුණුවක් සහිත ඉන්දීය ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායමක් ද එක් වී සිටිති. එම  කණ්ඩායම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී  දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ  සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් පිළිගන්නා ලදී.

ඒ අනුව, පසුගිය දෙසැම්බර් 01 දින, මෙම ඉන්දීය වෛද්‍ය කණ්ඩායම විසින් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලික කඳවුරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු සැසියක් පවත්වන ලදී. මෙහිදී, Aarogya Maitri/BHISHM ජංගම රෝහල් පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදෙන ලදී. මෙම නවීන පද්ධතියට, හදිසි රෝගී අවශ්‍යතාවන් 200ක් දක්වා කළමනාකරණය කිරීමට සහ අත්‍යවශ්‍ය සැත්කම් සිදු කිරීමට හැකි වන පරිදි නිර්මාණය කර ඇති සංයුක්ත මොඩියුල 72කින් සමන්විතය. තවද, එයට සවිකර ඇති ස්වයං කළමනාකරණ පද්ධතිය හරහා ඊට සම්බන්ධ කොට ඇති විදුලි ජනන පද්ධතිය සහ ඔක්සිජන් සැපයුම් පද්ධතිය මෙන්ම, RFID (Radio Frequency Identification) තාක්‍ෂණය උපයෝගී කරගනිමින් ඕනෑම ස්ථානයක පහසුවෙන් සහ කාර්යක්‍ෂමව වෛද්‍ය සේවාවන් සැපයීමේ හැකියාව ඇත.

මෙම ඉන්දීය ගුවන් හමුදා වෛද්‍ය කණ්ඩායම දැනට ක්‍රියාත්මක මානුෂීය මෙහෙයුම් සඳහා අඛණ්ඩව සිය සහයෝගය ලබා දෙමින් සිටී. තවද, මෙම ජංගම රෝහල් පද්ධති (BHISHM Cubes) දෙක පසුව ශ්‍රී ලංකාවට නිල වශයෙන් පරිත්‍යාග කිරීමට ද නියමිතය. මෙමගින්, අප රටේ ජාතික ආපදා ප්‍රතිචාර හැකියාව මෙන්ම, හදිසි ආපදා තත්ත්වයන්හිදී සහන සේවා වෛද්‍ය ප්‍රතිකාර මෙහෙයුම්වල හැකියාවන් සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමටත් උපකාරී වනු ඇත.