ජාතික ආපදා සහන මෙහෙයුම් ශක්තිමත් කිරීමට තුඩාවේ ට්‍රේඩින් පුද්ගලික සමාගම
විසින් අත්‍යවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
දෙසැම්බර් 03, 2025
අඛණ්ඩව සිදු කෙරෙන ජාතික ආපදා සහන මෙහෙයුම් සඳහා සහාය වීම පිණිස, තුඩාවේ ට්‍රේඩින් පුද්ගලික සමාගම විසින් අත්‍යවශ්‍ය පිරිසිදු කිරීමේ උපකරණ කිහිපයක් පරිත්‍යාග කරනු ලැබූ අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් අද (දෙසැ. 03) දින එම උපකරණ ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී විධිමත් ලෙස භාර ගන්නා ලදී.
ජර්මනියේ Kärcher සමාගමේ දීර්ඝ කාලීන ශ්‍රී ලංකාවේ හවුල්කරු වන තුඩාවේ ට්‍රේඩින් පුද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 3.5 ක් පමණ වටිනා අධි - බලැති ඉහළ පීඩන සේදුම් යන්ත්‍ර (heavy-duty high-pressure washer machines) පහක් (05) පරිත්‍යාග කරන ලදි. මෙම පරිත්‍යාගය ඔස්සේ, ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පොදු පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය දරණ ප්‍රයත්නයන්ට සහාය වීම අරමුණු කරයි.
මානුෂීය සහයෝගී ප්‍රයත්නයන් සඳහා වන Kärcher සමාගමෙහි ගෝලීය කැපවීමට අනුකූලව, මෙම පරිත්‍යාගය තුළින් ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශවල පිරිසිදු කිරීමේ කටයුතු කඩිනම් කිරීමට සනීපාරක්‍ෂක කණ්ඩායම්වලට උපකාර කිරීම සඳහා අදහස් කරන බව සමාගමේ නියෝජිතයන් ප්‍රකාශ කළහ. තවද, මෙහෙයුම් නිලධාරීන් වෙත මෙම උපකරණ ක්‍රියාකරවීම සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන නිදර්ශන හා පුහුණුව ලබාදීම සඳහා සිය තාක්‍ෂණික කණ්ඩායම සූදානම් බව ද තුඩාවේ ට්‍රේඩින් සමාගම තහවුරු කරන ලදි.
එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, ජාතික ආපදා කළමනාකරණය සහ මෙරට ජනතාවගේ ජිවන තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් මෙම කාලෝචිත සහයෝගය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළේය.