ශ්‍රී ලංකාවේ ආපදා සහන ප්‍රයත්නයන්ට සහාය වීම පිණිස ඉන්දියාවෙන්
අඛණ්ඩව මානුෂීය ආධාර තොග ලබාදෙයි

දෙසැම්බර් 03, 2025

ඉන්දීය නාවික හමුදාව විසින් සිය කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනයට සහ ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමට ඇති ගැඹුරු කැපවීම යලිත් තහවුරු කරමින්, පසුගිය දිනවල ඇතිවූ හදිසි කාලගුණික ආපදාවන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ ආපදා සහන ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා මානුෂීය ආධාර රැගත් නාවික යාත්‍රා කිහිපයක් මෙරටට එවා ඇත.

ඒ අනුව, මෙරටට එවනු ලැබූ ආපදා සහන ද්‍රව්‍යවල පළමු තොගය පසුගිය 2025 නොවැම්බර් 28 දින කොළඹ වරාය වෙත ළඟා විය. පසුගිය දිනවල කොළඹ පැවති International Fleet Review සඳහා සහභාගී වෙමින් සිටි ඉන්දීය නාවික හමුදාවට අයත් INS Vikrant ගුවන් යානා ප්‍රවාහන යුධ නෞකාව සහ ස්ටෙල්ත් කාණ්ඩයේ INS Udaygiri නෞකාව මගින් මෙම ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කරන ලදි. මෙම මූලික සැපයුම් තුළින්, අයහපත් කාලගුණයේ බලපෑමට ලක්ව අවතැන්ව සිටි ශ්‍රී ලාංකීය ජනතාව වෙත විශාල සහයෝගයක් ලබාදීමට හැකියාව ලැබිණ.

එමෙන්ම, අඛණ්ඩව සිදුවන සහන සේවා මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරමින්, ඉන්දීය නාවික හමුදා INS Sukanya නෞකාව මගින් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් 2025 දෙසැම්බර් 01 දින මෙරටට ගෙන එනු ලැබීය. එමගින් ආපදාවට පත් ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම ක්‍රියාවලිය මනාව සම්බන්ධීකරණ කරමින් ඊට අවශ්‍ය පහසුකම් සලසන ලද අතර, එමගින් භාණ්ඩ හැසිරවීමේ ක්‍රියාවලිය සුමටව සහ නියමිත වේලාවට බෙදාහැරීම සහතික කෙරිණි. නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා සහ ජ්‍යෙෂ්ඨ රජයේ නියෝජිතයින් පිරිසක් විසින් මෙම ආධාර තොග නිලවශයෙන් භාරගන්නා ලදි.