දිවයිනට බලපෑ දරුණු කාලගුණික අර්බුදය හමුවේ පාකිස්ථාන නාවික
හමුදාවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර
දෙසැම්බර් 03, 2025
කලාපීය සහයෝගිතාවයේ සහ මානුෂීය සහෝදරත්වය විදහා දක්වමින්, පාකිස්ථාන නාවික හමුදාව විසින් පසුගිය දිනවල දරුණු කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහායවීම සඳහා සැලකිය යුතු ආපදා සහන ද්‍රව්‍ය තොගයක් ලබා දී තිබේ. 'International Fleet Review' සඳහා සහභාගීවීමට කොළඹට පැමිණ සිටින පාකිස්ථාන නාවික හමුදාවට අයත් PNS SAIF නෞකාව මගින් මෙම ආපදා සහන ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරන ලදි. හදිසි ජාතික අවශ්‍යතාවක් උද්ගතව ඇති මෙම කාල පරිච්ඡේදය තුළ අවශ්‍යම මොහොතේදී ලබාදුන් දායකත්වයක් ලෙස, 2025 නොවැම්බර් 28 දින මෙම මානුෂීය ආධාර තොගය මෙරට නිලධාරීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදි.
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම වැදගත් ප්‍රයත්නය සඳහා අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ලදි. බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර සහ PNS SAIF නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් Asfand Farhan Khan මෙම ආධාර තොගය භාරදෙන අවස්ථාවට සහභාගි වුහ. මෙම මානුෂීය සැපයුම ඔස්සේ අන්‍යෝන්‍ය සහයෝගිතාවය, කලාපීය ස්ථාවරත්වය සහ සහයෝගී ආපදා ප්‍රතිචාර දැක්වීමේ ප්‍රයත්නයන් පෝෂණය කිරීම සඳහා දෙරටේ නාවික හමුදාවන් සතු පොදු කැපවීම ද අවධාරණය කරයි.