ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් සඳහා ජපානයෙන්
මානුෂීය ආධාර

දෙසැම්බර් 04, 2025

ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් සඳහා සහාය දැක්වීම පිණිස ජපාන රජය විසින් ලබාදෙන මානුෂීය ආධාර තොගයක් අද (දෙසැම්බර් 04) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී නිලවශයෙන් ශ්‍රී ලංකාව වෙත භාරදෙන ලදි. මෙම ආධාර ඔස්සේ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ජාතික ආපදාවෙන් පසු ක්‍රියාත්මකවන අඛණ්ඩ සහන මෙහෙයුම් සඳහා තීරණාත්මක සහයෝගයක් සපයයි.

ජපාන තානාපති අතිගරු Akio ISOMATA මැතිතුමා සහ Japan International Cooperation Agency (JICA) හි ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත Kenji Kuronuma මහතා විසින් මෙම පරිත්‍යාගය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) වෙත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී නිල වශයෙන් භාරදෙනු ලැබීය. 

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජපාන තානාපති Akio මැතිතුමා, දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය යළි තහවුරු කළ අතර, විශේෂයෙන් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව සමඟ ස්ථාවරව සිටීමට ජපානය කැපවී සිටින බව ද අවධාරණය කළේය. මෙම මානුෂීය දායකත්වය, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාව පිළිබිඹු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම පරිත්‍යාගය පිළිගනිමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර විසින්, ජපාන රජයට, JICA ආයතනයට සහ ජපාන ජනතාව සියලු දෙනා වෙත ඔවුන්ගේ කාලෝචිත සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සබඳතා යළි තහවුරු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, තීරණාත්මක මානුෂීය අවස්ථාවන්හිදී ජපානය ලබාදෙන ස්ථාවර සහයෝගය ද ඇගයීමට ලක් කළේය. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික), ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන්, JICA ආයතනයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 

ජපානයෙන් ලබා දුන් මෙම මානුෂීය ආධාර තොගය, ආපදා සහන, මානුෂීය සහයෝගීතාව සහ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ලබන තවත් එක් වැදගත් සුහදතාවේ සංකේතයකි.