රුසියාවෙන් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර තොගයක් පරිත්‍යාග කරයි

දෙසැම්බර් 10, 2025

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාව වෙත රුසියානු සමූහාණ්ඩුවෙන් මෙරටට ලබාදෙන මානුෂීය ආධාර තොගයක් අද (දෙසැම්බර් 10) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවති කෙටි උත්සවයකදී ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දෙන ලදි.

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු Levan S. Dzhagaryan මැතිතුමා විසින් මෙම ආධාර තොගය නිල වශයෙන් භාර දුන්නේය. එහිදී රැස්ව සිටි පිරිස අමතමින් රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේ, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකික ජනතාව වෙත රුසියාව විසින් දක්වන සහයෝගිතාවයේ සංකේතයක් ලෙස මෙම ආධාර පරිත්‍යාග කරන බවයි.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මැතිතුමා, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික),  ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම (විශ්‍රාමික), සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

රුසියානු තානාපති කාර්යාලය, ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, නාවික හමුදාව, ගුවන් හමුදාව, ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිපාලන අංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.