ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් කන්තලේ මූලික
රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් භාරදෙයි

දෙසැම්බර් 13, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙත ලැබුණු වෛද්‍ය උපකරණ තොගයක් කන්තලේ මූලික රෝහල වෙත අද (දෙසැම්බර් 13) දින නිලවශයෙන් භාරදෙන ලදි.

ඒ අනුව දැඩි සත්කාර ඒකක (ICU) සඳහා භාවිත කෙරෙන ඇඳන්, රෝද පුටු, අත් වාරු සහ ළදරු ඇදන් කිහිපයක් මෙම ආධාර තොගයට ඇතුළත් විය. මෙම පරිත්‍යාගය ඔස්සේ එම රෝහලේ ඇති හදිසි ප්‍රතිකාර අවශ්‍යතා මෙන්ම රෝහල තුල රෝගීන් ප්‍රවාහනය සහ රෝගී වූ දරුවන් රැකබලා ගැනීම සඳහා සැලකිය යුතු සහයෝගයක් ලබාදෙනු ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මිය විසින් සංකේතාත්මකව මෙම භාණ්ඩ, රෝහලේ වෛද්‍ය නිලධාරී - සැලසුම්, ඩී.එම්.ඒ.වී.ආර්. මුණසිංහ මහතා සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ගීතාංජලී ජයතිලක ද සිල්වා මහත්මිය වෙත භාරදෙන ලදි.

අප රටේ ජනතාව කේන්ද්‍ර කරගත් මුලපිරීම් ඔස්සේ ප්‍රජා සත්කාරක වැඩසටහන් ඔස්සේ වඩාත් පීඩාවට පත් ජනතාව වෙත සහායවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය දක්වන අඛණ්ඩ කැපවීම මෙම වැඩසටහන ඔස්සේ මනාව පෙන්නුම් කරයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ කන්තලේ මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.