ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සංවිධායකත්වයෙන් ගම්පොල පුපුරැස්ස ප්‍රදේශයේ අවතැන් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වයි

දෙසැම්බර් 22, 2025

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පසුගියදා ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සහ රජයේ කාන්තා වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ විශේෂ වෛද්‍ය සායනයක් පසුගියදා (දෙසැම්බර් 20) දින සාර්ථකව පවත්වන ලදි.

එලෙස ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව දැනට ගම්පොල පුපුරැස්ස කලෛවානි දෙමළ විද්‍යාලයේ ස්ථාපනය කොට ඇති සුරක්‍ෂා මධ්‍යස්ථානයේ තාවකාලිකව රැඳී සිටින ජනතාව වෙනුවෙන් මෙම සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී, වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සෘජු මඟපෙන්වීම සහ මුලිකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. එහිදී ආපදා සහන සේවා කටයුතු ක්‍රියාත්මක කෙරෙන ආකාරය පෞද්ගලිකවම නිරීක්‍ෂණය කළ සභාපතිනිය, මෙම ස්වභාවික ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වල සාමාජිකයන් සමඟ ඉතා සුහදව පිළිසඳරක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමට ද අමතක නොකළාය.