ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය නව වසර වෙනුවෙන් සුබසාධන වැඩසටහන් රැසක් දියත් කරයි

ජනවාරී 01, 2026

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ පූර්ණ මඟපෙන්වීම යටතේ, අද (ජන. 01) දින විවිධ සමාජ සුබසාධන සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ආරම්භ කරන ලදී.

ඒ අනුව නව වසරේ සමාරම්භය සනිටුහන් කරමින්, ඒ.එම්.ඩබ්ලිව්. බණ්ඩාර මහතා වෙත සහ අම්පාර මූලික රෝහල වෙත දැඩි සත්කාර ඒකක සඳහා භාවිතා කෙරෙන ඇඳන් පරිත්‍යාග කිරීමට සේවා වනිතා ඒකකය කටයුතු කළ අතර, මෙරට ජනතාවගේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම මෙහි අරමුණ විය. සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් මෙම පරිත්‍යාගයන් අම්පාර මූලික රෝහලේ වෛද්‍ය උනානි ප්‍රනාන්දු මහත්මිය වෙත සහ අදාළ ප්‍රතිලාභියා වෙත නිල වශයෙන් භාර දීමට කටයුතු කරන ලදී.

මීට අමතරව, තෝරාගත් ආබාධිත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු වෙත ඔවුන්ගේ එදිනෙදා කටයුතු පහසු කරගැනීම සහ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රෝද පුටු බෙදා දීම ද මෙහිදී සිදු කෙරිණ.

තවද, සේවා වනිතා ඒකකය විසින් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සහය දැක්වීමේ අරමුණින්, දෙකටන ප්‍රාථමික විද්‍යාලය වෙත පාසල් අභ්‍යාස පොත් තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙම පාසල් අභ්‍යාස පොත් තොගය එම පාසලේ විදුහල්පතිනී කේ.ඒ.එම්.එන්. කුමාරපේළි මහත්මිය වෙත සිසුන් ඉදිරියේදී නිල වශයෙන් භාර දෙන ලදී. මීට අමතරව, ආරක්‍ෂක අමාත්‍යාංශ පුස්තකාලයේ පරිශීලකයන්ගේ භාවිතය සඳහා අමාත්‍යාංශයේ පුස්තකාලය වෙත පොත් පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රතිපත්ති) ප්‍රියංගිකා හේවාරත්න මහත්මිය සහ ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් එක්ව සිටියහ.

සිය සමාජ වගකීම් ඉටුකිරීම, මහජන සුබසාධනය සහ ප්‍රජා සංවර්ධනය කෙරෙහි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ දැක්මට අනුකූලව එහි අඛණ්ඩ කැපවීම මෙම වැඩසටහන් මගින් පිළිඹිබු කෙරේ.