ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් නිකවැරටිය මූලික රෝහලට දැඩි සත්කාර ඒකක ඇඳක් පරිත්‍යාග කරයි

ජනවාරී 16, 2026

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ, නිකවැරටිය මූලික රෝහලේ දැඩි සත්කාර පහසුකම් ශක්තිමත් කිරීමේ සහ කලාපයේ රෝගී සත්කාරක සේවා නංවාලීමේ අරමුණින් අද (ජන. 16) දින එම රෝහල වෙත දැඩි සත්කාර ඒකක (ICU) ඇඳක් පරිත්‍යාග කරන ලදී.

ඊට අදාළව සංකේතාත්මකව අදාළ බලධාරීන් වෙත භාරදීම සහ අත්සන් තැබීම එම රෝහල් පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී සිදු කෙරුණු අතර, ඒ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ රෝහල් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ජාතික සෞඛ්‍ය පද්ධතියට සහය වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය දක්වන අඛණ්ඩ කැපවීම මෙම පරිත්‍යාගය මගින් පිළිබිඹු වන අතර, මහජන සේවය උදෙසා ආරක්‍ෂක සහ සෞඛ්‍ය අංශ අතර පවතින ශක්තිමත් සහයෝගීතාවය මෙයින් තහවුරු වේ.